Sunday, December 23, 2012

අවුරුදු 03යි! පෝස්ටු 100යි! ඔබ නිසයි සකි... Salute You




          අදට නෙමෙයි, 2012 දෙසැම්බර් 21 වෙනිදට දැන් ඔය ලෝක විනාශය වෙනවයි කිව දවස වෙද්දි මගෙ බ්ලොගියට අවුරැදු තුනයි හරියටම. එදාම පෝස්ටුවක් ලිවේ නැත්තේ මොකෝ කියනව නම්, මට නිකමට හිතුනා එහෙම පෝස්ටුවක් ලියලා දාලා බැරි වෙලාවත් ලෝකෙ විනාශ වුනොත්වත් කාට කියවන්නද ඉතින් කියලා හිතුනා. : D නෑ නෑ ඇත්තම කියනව නම් ඒ දවස් වෙද්දි උණ ගැනිලා උන්නේ හොඳටෝම. දැන් හොඳ වුන ගමන් තමයි මේ පෝස්ටුව දාන්නේ. ඉතින් මේ බ්ලොගියේ ඉතිහාසෙට කෙලින්ම එන්නම්.
                 රතීගෙ දිනපොතේ ඉතිහාසය කියනවනම් මමත් යුනිකෝඩ් ගැන දැනගත්තා විතරයි ඒ කාල වකවානුව වෙද්දි. කැමති කෙනෙකුට බලන්න පුලුවන් මම මගේ පලමු පෝස්ටුව කියලා මොකක්ද ලියලා තියෙන්නේ සහ යුනිකෝඩ් හරියට වින්‍යාස ගත වෙලා නැතිකමෙන් හා  අකුරැ පිහිටල තියෙන විදිහෙන් මගෙ ඒ කාලේ මේ බ්ලොග් කලාව පිලිබඳව තිබුන දැනීමේ හොඳකම. ඊට පස්සේ අවුරැද්දෙත්  ටිකක් දුර යනකල් මට හුරු වෙන්න බැරි වුනා මේ  සිංහල යුනිකෝඩ්වලට.(මොකද ඒ කාලෙදි හොරාට සිංහල කොට කොට හිටියේ අර A අකුරට අ යන්න එන කන්වර්ටර් එකක. ඇත්තමයි බ්ලොගියෙන් මට ලැබුනු ලොකුම දෙයක් තමයි විජේසේකර ෆොන්ට් ස්ටයිල් එකට මාරැ වීමට ලැබීමත්) ඒ වගේම ඒ කාලෙදි  බ්ලොගින් ගැනවත් නිට්ටාවටම දෙයක් දැනන් උන්නේ නෑ. මේක මේ පම්පෝරි පොස්ට් එකක් එහෙම නෙවෙයි ඕං.  මගේ බ්ලොග් කලාවේ ලොකු ටාගට් නම් තිබුනේ නෑ. අනික තමා මම බ්ලොගිය පටන් ගත්තේ අහවල් කාරණාවකට යැයි මුලින්ම කිසිම අරමුණක්වත් තිබුනේ නැ. ඔහේ ටිකක් ලියාගෙන යද්දි හොඳ දෙයක්, පවතින දෙයක්, මතක හිටින වෙනස්ම දෙයක් කරන්නයි මට ඕනෙ වුනේ. මම හිතන්නේ ඒ හරිය යම් තාක් දුරකට හරි සාර්ථක වෙන්න ඇති ඒ කාලේ හැටියට. සමහර අය ඔය වල්පල් බ්ලොග් වලට දෝස්මුරේ දානවනේ. මම නම් කියන්නේ ඒක වැරදියි. ඊයෙ උදේ කෙල්ල හම්බෙන්න ගිය ගමනයි, එයැයිත් එක්ක කතා  කරපුවයි,  පෙරේදා  ගිය පික්නික් එකයි, ළඟදී ගත්ත වාහනේ ගැනයි   හැම මගුලම බ්ලොග් වල ලියන්නේ මොකටද  කියලා සමහරු නානාප්‍රකාර කතා කියනවා. ඒ මොන දේක වුනත් වල්පල් වුනත් ගන්න දෙයක්, ජිවිතේට එකතු කරගත හැකි යමක් තියේ නම් , හිතන්න දෙයක් තියේ නම් අවුලක් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද මම වුනත්  පට්ට වැඩකට නෑ කියලා හිතෙන පෝස්ටු කියවපුවාම අන්තිමේට තේරෙනවා  යටින් ලොකු පණිවුඩයක් කියලා තියෙනවා කියලා. තවත් සමහර පෝස්ට් වලින් අත්දැකීම් බෙදා ගන්න ලැබෙනවා.  තවත් සමහරකට ලැබිලා තියෙන කමෙන්ටු කියෙව්වාම ඒ පෝස්ටුව කියෙව්වටත් වඩා දැනුමක්, අත්දැකීම් සමුදායක් ජීවිතේට එකතු කර ගන්න පුලුවන් වෙනවා. මම අත් දැකලා තියෙනවා ඒ දේවල්. හිතේ තියෙන දේවල් එළියට දැම්මම තමන්ගේ හිත හරි ටිකක් සැහැල්ලු වෙනවනේ. ඔය හැම දේකින්ම ඉතින් අළුතෙන් දෙයක් එකතු කරගන්න දෙයක් ඇත්තටම තියෙනවා කියන එක මගේ මතයයි.  බ්ලොග් එකක් කියන්නේ සාමුහික අත්දැකීමක් .
              මම මේ බ්ලොග් එක පටන් ගත්තේ අහවල් කාරණාවක් උදෙසා කියලා නිශ්චිත අරමුණකින් නෙවෙයි.  නමුත් Technical ලිපි ලියන්න ගත්තේ කියවන අයට මොකක් හරි වැදගත් දෙයක් දියයුතුයි කියලා හිතලයි. ඒ නිසා මම කල්පනා කලා ඔය තාක්ෂණික ලිපි වැඩි හරියක් මෙයට එකතු කරන්න. මගෙ බ්ලොගියේ නිතිය තමයි කැමති ඕන කෙනෙක් කොපි කරගෙන ගියාට අරෝවක් නැ මගෙන්. ඉස්සරහට තාක්ෂණික පැත්තෙන් අලුත් දේවල් තවත් ගේන්නයි බලාපොරොත්තුව. ඇවිල්ලා කියවලා ඕනෙනම් අරගෙන යන්න නෙව තියෙන්නේ. මම දන්නෙත් චුට්ටයිනේ. ඒත්  තව කාට හරිත් ඒ චුට්ට කොයි වෙලාවකදි හරි වැදගත් වෙයි,  ඒ බෙදලා දෙන දෙයින් තව කවුරු හරි වැඩක් ගනී කියලා තමයි මොනවා හරි දෙයක් දෙන්න හිතුවේ. කවුරැ හරි මේවා කියවලා දැනගෙන ඉගෙන ගන්නව නම් ඒක තමයි මගේ සතුට. ඒ අහිංසක අව්‍යාජ සතුට වෙන මොන ක්‍රමේකින් වත් ලබාගන්න බෑ.සිරාවටම කවුරු හරි කිවොත් කමෙන්ට් එකකින් හරි මතක් කලොත් උඹෙනුත් ටිකක් දැනගත්තා කියලා හිතට සතුටුයි නෙව. පහුගිය අවුරැදු තුනටම මගෙ අතින් ලියවිලා තියෙන්නේ පෝස්ටු 100 ක් විතර.  ඒ ගැන නම් ටිකක් විතර දුකයි. ඔන්න ඔහෙ කමක් නෑ හිමින් ගමන ගියාවේ කියලා මමත් ඔහෙ පුලු පුලුවන් විදිහට ලියනවා. ඉඩක් ලැබෙන්නත් එපැයි ඉතින් ඒකටත්.  ඉතින් මේ වෙනකල් ලියපු පෝස්ට් සියයට මට ලැබිලා තියෙන ප්‍රතිචාර දිහා බලලා මම අවංකව තෘප්තිමත්. Followers ලා 100 කටත් ඩිංගිත්තක් වැඩියෙන්. කමෙන්ට්ස් 400 ක් විතර. ඒ කමෙන්ට් අතරේ මම දාපුවත් තියෙනවා බාගෙට බාගයක් විතරම හොඳේ. තව Page Views 60000 ක් පැනලා.  මේ ඉලක්කම් ලොකු ඒවා නෙවෙයි වුනත් ඒකට කමක් නෑ. කවදක හරි කාට හරි කියවන්න යමක් ඉතුරැ වෙලා ඇති මෙතන. 
                    මොනව නැතත් සාමාන්‍ය ජිවිතේදි ප්‍රශ්නයක් ආවමත්  ඒක කියන්න කෙනෙක් නැතිව වෙලා ඉන්න වෙලාවක , ජීවිතේ එපා වෙලා  හිතේ සතුට නැති වුණාම , අඬන්න කලියෙන් කාටත් ඇවිත් යන්න තියෙන්නේ තමන්ගෙ දුක සහ සතුට බෙදාගන්න තියෙන එකම තැන තමයි බ්ලොග් කලාව.  අන්තිමට බලන්න ඉතිරි වෙන්නේ පස්සේ කාලෙක හරි එකම තැනයි. මාව ෆලෝව් කරලා, කමෙන්ට් වලින් මට දිරිය දීලා රතීව කියවපු  නිහඬ බ්ලොග් කියවන්නෝ හැමෝටම ස්තූතියි . අපි ගොඩක් දෙනා විවිධ කාලවලදි  විවිධාකාර වගකීම් වලින් මිරිකෙනවා . හැමදම බ්ලොග් එකට ආව ගිය අයටත් ඉඳලා හිටලා හරි ඇවිත් යන්න හරි වෙන්නේ අන්න ඒ විවිධ හේතුන් නිසා .සමහරු මුල ඉඳන්ම තවමත් අත්වැදල් බැඳන්  ඉන්නවා . ඒ අතරෙම  අලුතින් අයත් එකතු වෙනවා . හැම පෝස්ටුවම කියවලා , නොතේරැණත් මෙලෝ රහක් නැ කියලා හරි කමෙන්ට් කරලා යන පිරිසකුත් ඉන්නවා. තවත් අයට හැමදාම කියෙව්වත් කමෙන්ට් කරන්න වෙන්නේ ඉඳහිට .  ඒවගේම තවත්  විශාල පිරිසක් ඉන්නවා කියවලා විතරක් යන . දවස ගානේ ඇවිදිල්ලා තමන්ගේ කනෙක්ෂන් එකත් අවුල් වෙවි තියෙද්දි අමාරුවෙන් හරි  කමෙන්ට් එකක් දාලා වටිනා කාලෙන් තත්පර කිහිපයක් මට වෙන්කරලා කමෙන්ට් කරන හැමෝමත් ඇතුලුව මේ  ඒ හැමෝම මට එක වගේ වටිනවා . කීව නොකීව හැමෝටම ස්තූතියි. එදා ඉඳන් අද වෙනකම් කොතරම් නම් අය ඇවිත් යන්න ඇත්ද. ඒ හරියට අපේ ජීවිතේට වෙනව වගෙයි.    ඉතිං මේ බ්ලොග් අවකාශෙ ඇතුලෙ තවත් එක් කුඩා චරිතයක් වන මට,  මගේ පුද්ගලික මිතුරන් කැල, බ්ලොග් අවකාශේ නිසා අඳුන ගත්තු මිතුරන් කැල,  සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ කට්ටිය, ලාංකික සිතුවිලි  අඩවියේ කට්ටිය, කොත්තු අඩවියේ අය, එකතුව හා හත්මාලුව යන සින්ඩි  මෙන්මත් හැමදා කමෙන්ට්ස් මඟින් මාව දිරිමත් කරන මේ බ්ලොග් එක කියවන ඔබ සැම ආදී වශයෙන් නම් වශයෙන් නොවුනත් උදව් උපකාර කරපු හා මාව දිරිමත් කල මෙන්ම වචනෙකින් හරි උදව් කරපු හැමෝටම හුඟාක් පින්. ඒ වගේම  වැරදිල අඩුපාඩු  පෙන්නලා දිලා මාව නිවැරදි කරපු  අයටත් හුඟාක්ම ස්තූතියි. නම් වශයෙන් කියන්න තරම් වැදගත් සුවිශේෂී කීපදෙනෙක් හිටියත් කියන්නයි කියල හදලා  කිපවිටක්ම ආයේ මකල දැම්මේ කියන්න අමතක වුන කෙනෙක් වුනොත් හිටියොත් එයාගෙ හිත රිදෙයි කියලා.  දවසක අපි හැමෝම හම්බවේවි .එදාට මම මූණටම මුණගැහිලා ස්තූතියි කියන්නම් හැමෝටම..!

ඉතින් එතකම් මේ සැලියුට් එක ඔබටයි !

අපි ඉතින් ගම් වල දෙණියේ පැන පැන ඉඳලා කොලඹ ආව කියලා වෙනසක්  වෙලා නෑ ලෙන්ගතුකමේ. ගමේ ගෙදරකට කෙනෙක් අත් දෙක වන වනා හිස් අතින් ආවත් බත් කටක් හරි කහට කෝප්පයක් හරි අඩුම වශයෙන් බුලත් විඩක් හරි නොදී යවන්නේ නෑ නෙවැ. ඔන්න එහෙනම් මං ගානෙ කට්ටියටම පුංචි පහේ සාදයක්. කේක්ද, විස්කෝතුද, තව ඔය නානාප්‍රකාර එව්වා  එහෙම නම් දෙන් නෑ ඕං. මොකද මේක හොඳටම සාම්ප්‍රදායික විදිහට සමරන්නයි මගෙ අදහස. කවුරැ කවුරැත් හොඳට කාලා බීලා බඩ කට පුරවගෙන මිසක් හිස් අතින් එහෙම යන්නෙ නෑ ඔන්න...



ආ....තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔබ සැමට සුබ නත්තලක් සහ එලඹෙන වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි මගෙන් ආසිරි… මේ අවුරැද්දෙත් වැඩි වැඩියෙන් කියවන්න ලියන්න ලැබේවා…. !

Thursday, December 13, 2012

ආදරය . . . විඳීමටම පමණයි



          
     ආදරය කියන්නේ  මේ ලෝකය පුරා තියෙන ඕනම කෙනෙක් අත්විදින්න කැමති ලස්සන දෙයක්. අපිත් ආදරේට ආදරේ කරොත් තමයි සැබැ ආදරය අපිට ඒ විදිහටම ලැබෙන්නේ . මම මේ කියන්න හදන්නේ ප්‍රේමය පිළිබඳව නිසා දැන් පටන් කියන්න යන සියල්ල එයටම අදාල වෙනවා. ඇත්තටම ආදරය නැත්නම් ප්‍රේමය සුන්දර අත්දැකිමක්.ඇත්තටම මම මේ කතා කරන්නෙ ආදරයට වඩා ආදරය නැතිවුනාම දැනෙන දුක ගැන.මේක ආදරේ බිඳුනාම හිතින් වැටෙන යාලුවන්ට ගොඩක් වැදගත් වේවි කියලා මට හිතෙනවා. අනිත් අයටත් ඉතින් වැදගත්වේවි තමන්ට ඇත්තටම ආදරේ කරපු කෙනාට , තමනුත් හිතට එකඟව ආදරේ කරන කෙනාට කවදාකවත්  ඒ වගේ දුකක් නොදී ඉන්න තැනට කටයුතු කරන්න වැදගත් වේවි.
                   ආදරය හා ජීවිතේ දෙකම හරියට කාඩ් කුට්ටමක   කොල වගේ.  දෙන්නාටම තුරුම්පු කියන ගැලපුම්  සම සමව හෝ කොහොම තිබුනත්  ජය පරාජය තීරණය වෙන්නේ දෙන්නා ක්‍රියා කරන පිලිවෙල අනුවයි.  සැබෑ ආදරයට අපිට කවදාවත් කරන්න නොහැකි වුන දේවල් කරන්න පුලුවන් . ඒ සැබෑ ආදරය අපි උපදින උපදින හැම ආත්මයකදිම අපිට හමුවෙනවා, ඒ ලැබෙන්නේ අපිත් ආදරේ දැනෙන්න කලොත් පමණයි. ඇත්ත ආදරය කවදාවත් මැරෙන්නේනේ නෑ , උපදිනවා මිසක. වැදගත්ම දේ තමයි අපිට ආදරයක් බලෙන් ලබා ගන්නත් බැ . ඒක ආදරයේ පොදු සත්‍යතාවයක්. ආදරයට ආදරය කලොත් එවිට ආදරය ජයගන්න පුලුවන්. ආදරය කරද්දි නොදැනුවත්වම හෝ තමන්ගේ වෙන්න ඉන්න කෙනාගේ හිත රිද්දවන එක නම් හරිම පවු. හැම වෙලාවෙම ආදරය කරන කෙනාට දැනෙන්න අරින්න ඔයා එයාට කොච්චර ආදරය කරනවාද කියලා. එතකොට එ ආදරයට ඉතා දිගු සංසාර ගමනක් යන්න පැවැත්මක් තියෙනවා. ආදරය ලස්සනයි, පිවිතුරුයි , සුන්දරයි. ආදරය වෙනුවෙන් නිසදැස්, කවි,සින්දු, පදවැල්  ලියවිලා තියෙන්නේ බොරැවට නෙමෙයි. ආදරය එතරම්ම ලස්සන නිසයි. ඒ බැදීම එලෙසම තිබිය දී ආදරය කරන කෙනා අහිමි වීම හදවත දවා අලුකරන වේදනාවක් ජනිත කරවන බව මගේ හැඟීමයි. ඒ ගැන මතක් වෙනකොටත් කියා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා.මොකද ඒ ආදරේ දැනෙන්නේ හදවතේ සියුම් තැනකට. ඒ නිසයි ආදරේ තරම මෙන්න මේ යැයි කියලා ප්‍රමාණාත්මකව දක්වන්න බැරි හේතුවත්.මේ ලෝකෙ හැමෝම පතන්නෙ කවදාවත් තමන් ආදරය කරන අය අහිමි වෙන්න එපා කියල යි. ඒත් ඒ පැතුම ඒ විදියටම සිද්ධ වේවි ද යන්න ගැටලුවක්. අපි හිතන්නවත් අකමැති දෙයක්.
                     නමුත් ආදරේ ගැන කියවෙන කොට මේ ලෝකේ වැඩියෙන්ම කවි,සින්දු,කතන්දර ලියවිලා තියෙන්නෙ ආදරය ගැන නෙමෙයි විරහව ගැන කියල කිවොත් කවුරැත් ඒ මතයට එකඟ වේවි. ඒ ආදරයට වඩා විරහව අපේ හදවත් වලට ගොඩක් දැනෙන නිසා.. ගොඩක් දේවල් අපේ ළග තියනකොට වැඩිය වටිනාකමක් නැහැ. මම ඒකෙන් අදහස් කලේ වටිනාකමක් නැත්තෙම නැහැ කියල නෙමෙයි‍. ආදරයත් අන්න ඒ වගේ. 
ඒක පැහැදිලි වෙන්න මම පුංචි කතාවක් කියන්නම් මගෙ යාලුවෙක් කියපු දෙයක්:
"පලවෙනි කෙල්ලට කතා කරපු දවස මට කොයි වෙලාවකවත් කොයිම මොහොතකවත් අමතක වෙන්නෙත් නෑ. අමතක කරන්නත් බෑ. පලවෙනියට ලව් එක කෙල්ලගෙ කටින් අහපු එක අමතක වෙන්නෙත් නෑ. ඒ වගේම තමා එහෙම හිටපු කෙල්ල කවදාවත් නොහිතපු දෙයක් කියල ලව් එක රිජෙක්ට් කරපු එකත් කවදාවත් අමතක නෑ. එයාට මම කරපු ආදරේ කොයිතරම්ද කියනව නම් ඒ  හන්ද මට අදටත් වෙන කෙල්ලෙකුට ආදරය කරන්න බෑ. වෙන කෙල්ලෙක් ගැන හිතන්නත් බෑ. පාරෙදි ඇහැක් ගහපු කෙල්ලෙකුට ටෝක් කරන්න, බස් එකෙදි මුන දිහා බලනකන්ම ඇඟේ හෙත්තු උන කෙල්ලොත් එක්ක කතා කරන්න අදටත් බෑ."

               

                      අපේ හිතට මුලින්ම ආදරය දැනෙන්න පටන් ගත්තු දවසෙ ඉදලම ඒක හරිම සුන්දර අත්දැකීමක්.ආදරයක් මිනිස් හිතක ඇතිවෙන්නෙ තමුන්ගෙ විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයාගේ සිත් ඇදගැනීමේ හැකියාව නිසාමයි.. එකිනෙකා අනෙකාට ආදරය කරන්නේ ඒ ඒ අනෙකාගේ තුළ ඇති තමන් කැමති ලක්ෂණ  එකක් හෝ කිහිපයක් නිසායි.තව කෙනෙක් ගැන අපේ හිතට ආදරයක් ඇතිවුනු දවසෙ ඉඳන් අපි එයාට ආදරය කරනවා.සමහර වෙලාවට තව කෙනෙක්ව දැකපු ගමන්ම අපිට එයා ගැන ආදරය හිතෙනවා.හරියට සංසාර ගත පුරුද්දක් වගේ.ඒත් සමහරවෙලාවට අපිට අපේ හිතේ තියෙන ආදරය ඒ අයට කියන්න වෙන්නෙ නෑ.කොහොම හරි ඒක කියා ගත්තත් සමහර වෙලාවට එයා ඒකට කැමති නෑ.නැත්නම් එයා වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරයි.ඉතින් එහෙම වුනාම අපි කොච්චර ආදරය කරත් එයාව අපිට ලං කර ගන්න බැරි වෙනවා.ඒ වෙලාවට අපිට දැනෙන්නෙ මොන තරම් දුකක්ද. ඒ වගේම අනිත් පැත්ත තමයි කොහොම හරි පටන් ගෙන දෙන්නට දෙන්න ආදරය කරන්න ගත්තට පස්සේ.එතකොට අපි එයාට පණටත් වැඩිය ආදරය කරනවා.අපි හිතන්නෙ එයත් එහෙමයි කියලා.ඒ හින්ද අපේ ජීවිතයටත් වැඩිය අපි එයාට ආදරය කරනවා.
            ඔහොම ආදරය කරන කෙනා එක පාරටම අපිව දාල ගියොත්, අපිට ආදරය කරන අතරෙම වෙන කෙනෙකුටත් ආදරයකරල තිබුනොත්, නැත්නම් දෙමාපියන්ට ඉඩ දිය යුතු නිසා ඔවුනගේ බලපුලුවන්කාරකම් හමුවේ තමන්ගේ ආදරවන්තයා අත හැරලා දැම්මොත්, එහෙමත් නැත්නම්  මොන තරම් ආදරය කරත් කිසියම් හේතුවක් හින්දා දෙන්නට වෙන් වෙන්න වුනොත්,මේ අවස්ථාවන් හැම එකකදිම අපිට කොච්චර නම් දුකක් දැනෙනවද.හැමදෙයක්ම එපා වෙනවා,ඇයි අපිට මෙහෙම වෙන්නෙ කියලා හිතෙනවා,සමහර වෙලාවට ජීවිතය පවා නැති කර ගන්න හිතෙනවා.මොකද ඒ විඳවීම හා අත්දැකීම එතරම්ම අමාරැ දෙයක්.
             නමුත් ඇයි අපි බිදුණෙ කියන තැනින් පටන් අරගෙන අවංකව තමන්ගෙ වැරැද්දක් නං සමාව ඉල්ලලා, අනිත් පාර්ශවයට වැරැද්දක් නං තේරුං කරලා දීලා ඉදිරිපත් වෙන්න පුලුවන් නම් ලැජ්ජාවක් නැතුව , බොහෝවිට මේ සඳහා සුන්දර දෙවැනි අවස්ථාවකුත් නිර්මාණය වෙනවා.මොකද තමන්ගෙනෙ ආදරේ. ඒ නිසා බොහොමයක් වෙලාවට ඒ විදිහට හොඳ අවසානයන් දැකිය හැකි කතාවන් එහෙමත් නිර්මාණය වෙනවා.ආදරය නැතිවුනාම දැනෙන දුක ඒක සිංහල භාෂාවේ විවිධ විදිහට හඳුන්වනවා. විරහව.විප්‍රයෝගය,විප්‍රලම්භය ඔය වගේ නම් ගොඩක් තියෙනවා.මේ හැම දෙයකින්ම හඳුන්වන්නේ ඒ දැනෙන දුක.
                   නමුත් ඔයගොල්ලන්ට පොඩ්ඩක්වත් හිතිල තියෙනවද ඒ දැනෙන දුක සුන්දර විඳීමක් මිසක් කාලකණ්ණි විඳවීමක් නෙමෙයි කියලා. මොකද අපි සිතන්න හා යොමුවෙන්න ඕනේ, පුරැදු වෙන්න ඕනෙ එතැන් සිට මෙය ධනාත්මක ඇසකින් බලන්නට.බලන්න මේ ලෝකෙ වැඩිම ප්‍රමාණයක් කවි,සින්දු,කතන්දර ලියවිලා තියෙන්නෙ ආදරය ගැන නෙමෙයි විරහව ගැන. ඒ විරහව විඳින්න මිනිස්සු එච්චරටම ආස හින්දා. ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී. ඒ දුක ගැඹුරටම දැනෙන කෙනෙකුට නම් මේක දැක්කම මාත් එක්ක තරහත් යයි. ඒත් ඇත්ත ඒකම තමයි එහෙම දුකක් ඇති වුනාම ඒ දුක විඳින්න.හොඳටම අඬන්න,සිංදු අහන්න,කවි කියවන්න,කවිලියන්න.කොල්ලො නම් මෙහෙම වුනාම ගෑනු සංහතියම තිත්ත වෙලා වගේ බොන්නත් පටන් ගන්නවා.තරුණයෙක් නම් යාළුවන් වටකරගෙන බොන්න සෙට්වෙන එක අනිවාර්යෙන්ම උනත් බීලා ඉවරවෙද්දීත් ප්‍රශ්නෙ එතනමයි කියලා දැනගත්තම හිතට එන්නෙ මහ පරාජිත හා තමන් ගැනම කේන්තියෙන් යුත් වගේ හැගීමක්. බොන එක හොද වැඩක් නෙමෙයි.මම කියන්නෙ බේබද්දෙක් වෙන්න කියල නෙමෙයි.මේ හැමදෙයක් කරන අතරෙම ඒ ආදරයට වෛර කරන්න නම් එපා.කවදාවත් ඒ අයගෙන් පලිගන්න හිතන්න එපා.අපිට නැතිවුනත් ඒ ආදරයට හැමදාම ආදරය කරන්න.ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහු හෝ ඇය හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි.බොහෝ පෙම් සබඳතා බිඳී යන්නේ හදිසි සිදුවීමක් ලෙසින්. එම හැර යාමට අවශ්‍ය මූලික ස්ථාවරත්වයක් මාස ගණනකට පෙර සිටම ක්‍රියාත්මක වෙනවා. බොහෝවිට ඒ අතර මූලින්ම ඇත්තේ දෙදෙනා අතර ඇති කුමන හෝ නොගැලපීම්. එය මානසික, ධනය, රැකියාව රුචි අරුචිකම් උගත්කම ආදී වශයෙන් විවිධාකාර වූ නොගැළපීම් වීමට හැකියි. හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි සිහිපත් නොකරන්නේ යැයි සිතන තත්ත්පරයකින් යළිත් ඔහූව සිහිපත් වීම ස්වාභාවිකයි. එහෙයින් ඔහූව අමතක කිරීමට මූලිකවම උත්සාහ දරන්න එපා. ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහූ හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි.  
                   ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට, ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි . සැනසෙන්න ඔබත් ඒ විදිහට ආදරේ කරපු අයගේ ගොඩේ නම්.ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්. ඒ නිසාවෙන් තමන් කල යුතු කිසිම දෙයක් අතපසු කර ගන්න එපා. ඉගෙන ගන්න කාලෙනම් ඒ කටයුතු පොඩ්ඩක්වත් අතපසු කර ගන්න එපා.රස්සාවක් කරනව නම් ඒකෙ වැඩත් පොඩ්ඩක්වත් අතපසු කරන්න එපා.පුංචි සිදුවීමක් හින්දා තමන්ගෙ අනාගතය චුට්ටක්වත් විනාශ කර ගන්න එපා. පුංචි සිදුවීමක් කියලා මම මෙතනදි කිවේ ජීවිතයට ඒක දැනෙන්න දෙන්න එපා කියන්න ඕන නිසයි.කොටින්ම අපිට නැතිවුනේ ඒ ආදරය විතරක්ම කරගන්න.වෙන කිසිම දෙයක් නැති වුනේ නැනේ.වෙන කිසිම දෙයක් නැති කර ගන්නත් එපා.තව ඕනෙ තරම් කෙල්ලො කොල්ලො ඉන්නේ. ඒ අතරින් දාලා ගිය කෙනාට වඩා ඔයාට හරියන කෙනෙක් ඉන්න පුලුවන් ඉඩ ප්‍රස්ථාව කොච්චරක් නම් තියෙනවාද.තරහ ගන්න එපා මගෙ යාලුවෝ මේ දේවල් කිවේ තමන්ගේ ජීවිතයට එම සිදුවීම ඇති කරන බලපෑමක් තියේ නම් එය අඩු කරගන්න හිත හදාගන්න ඒ දේවල් ඇත්තටම හිතට ගන්න වෙනවා ඔබට. නිරන්තරයෙන්ම කදුළු උඩින් ගෙවන ජීවිතෙත් එක්ක වෙන මානසික වැටීම මිනිහෙකුගෙ ඉදිරිගමනට ලොකු බාධාවක්.ඉතින් ඔය ගෙවන්න අමාරුම කාල සීමාව බොහොම පොඩියි. ඊට පස්සෙ අපිට ඒ දුක දැනෙන එක අඩු වෙනවා. ඒක ටික ටික අතීතයට එකතු වෙනවා. ඊට පස්සෙ ඒක අතීතයේ සුන්දර මතකයක් බවට නිරායාසයෙන්ම පත්වෙනවා.මතක් කරල රස විඳිය හැකි සිහිනයක්.
                   ඒත් එහෙම වෙන්නෙ අපි අපේ අනාගතය, ඒ හින්ද පොඩ්ඩක්වත් විනාශ කර නොගත්තොත් විතරමයි.ඒ වගේම ඒ ආදරයට වෛර නොකර හදවතින්ම ඔහුගේ හෝ ඇයගේ සුඛ විහරණය මෙන්ම අනාගත සමෘද්ධිය ප්‍රාර්ථනා කලොත් විතරයි.හැර දමා ගියත් ප්‍රේමය බිඳී යෑම ඔබට පෞද්ගලිකව බලපාන්නක් බවට පත් කර නොගන්න. එසේ කළහොත් ඔබ ප්‍රබල මානසික බිඳීමකට පත්වීමකට හැකියි. මම කියන්නේ නම් ආදරය වගේම විරහවත් සුන්දරයි.හැබැයි ඒ ඒක හරියට විඳගත්තොත් විතරයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය කරන්න ඕන කියල නීතියක් වත් රීතියක් වත් පනතක්වත් කොහෙවත් සම්මත වෙලා නෑ. අපි කැමති කෙනෙකුට ආදරය කරන්න අපිට අයිතියක් තියෙනවා. එහෙම ආදරය කරන කෙනාට අපිව ප්‍රතික්ෂේප කරන්න ඊටත් වඩා අයිතියක් තියෙනවා. නමුත් ...එහෙම කරනව නම් ඒක කොතරම් දුරකට මානුෂීයද නැද්ද යන්න දන්නේ ඒ දෙන්නට දෙන්නා විතරයි. ආදරය හරි පුදුමාකර දෙයක් කියන්නේ ඒකයි.                                  අපි ආදරය කරන කෙනා අපිටත් ආදරය කරන්නම ඕන කියල කවුරැ හරි කියනවා නම් මතක තියා ගන්න එතන ආදරයකට වඩා තියෙන්නේ ගනුදෙනුවක්. අපි කරන ආදරේට එයා ආපිට ආදරේ කරනව නම් ඒක මුලින්ම එන්න ඕනේ හිත ඇතුලෙන්. නැත්නම් අනේ පවුනේ කියලා අනුකම්පාවෙන් ආදරේ කරනව නම් හෝ හිත නිවා ගන්න ආදරේ කරනවා නම් එතනට ආදරේ කියන නිර්වචනය දෙන්නත් බෑ. 
                          ආදරේ අපි හිතන තරම් පටු නෑ. හැබැයි ආදරේ කියන්නේ මොකද්ද කියලා කවුරැ හරි ඇහුවොත් මගෙන්, මට නම් කියන්න තියෙන්නේ "මම තාමත් දන්නේ නෑ" කියලා.

මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා  cspmax ට.  මේ ගැන  ඔහුට සම්බන්ධ කාරණා කිහිපයක් බෙදාගැනීම සමබන්ධයෙන්...

-----------------------------------------------------------------------------------------------------------

ප.ලි - 
මෙන්න මෙහෙම කමෙන්ට් එකක් තිබුණා My Dear නමින් මා පලකල පසුගිය පෝස්ටුවට Samadhi Chinthana කියල යාලුවෙක් දාපු එකක්. ඒකත් මම මෙතන පලකරනවා මේ දැන් කතා කරන කාරණාවට මෙයත් බොහොම සමීප නිසාවෙන්.

"අපි සැබෑවටම ආදරය කළ කෙනෙක් අපෙන් වෙන් වුණාම තදබල වියෝ දුකක් (Grief) දැනෙනවා. ආදරය කළ කෙනා තමන් අතහැර ගියාම මේ වියෝ දුක තදටම පතුලටම දැනෙන බව මාත් හොඳටම අත්දැකපු දෙයක්.ඒ නිසා උඹව දැනෙනවා මට. ටිකක් දිග් ගැස්සුනාට කමක් නැ නේද කමෙන්ට් එක.තරහ නැනේ. තමන්ගේ ආදරණියයා තමා ගෙන් වෙන් වී යන බවට මනස පිලි ගන් නැත්තේ ඒ වගේ අනපේක්ෂිත දෙයක් එකවරම පිළි ගැනීම තුළින් මනසට වන හානිය වළක්වා ගැනීමේ උපක්‍රමයක් විදිහට.ඒ වගේම සමහරු මේ වගේ අවස්ථාවකදී අනෙකා කෙරෙහි ඇති වන තදබල කෝපය නිසාම ‘ඔයාට මාව එපා නම් මටත් ඔයාව එපා‘ කියලා කියන්න පෙළැඹෙනවා. ඒකත් මනස විසින්ම මනස රැකගන්න සිදුකරන ආරක්ෂක උපායක් තමයි. මේ මොනවා කිව්වත් මනස අපේක්ෂා කරන්නෙ එයා ඔහොම කිව්වට වෙනද එන වෙලාවට එයි කියලයි.කතා කරයි කියලයි.වෙනද වගේ මාත් එක්ක කතා කරයි කියලයි. හා නැද්ද කියමු බලන්න.නමුත් වෙන් වී ගිය පුද්ගලයා නැවත කතා නොකරන කොට, වෙනදා මුණ ගැහුණු තැන්වලදී ඒ වෙලාවල්වලදී නොදකින කොට මනස දැන ගන්නවා එයා ආයෙත් එන්නෙ නැති බව. ඒ වෙලාවට හිතට මහා විශාල පාළුවක් වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. හිත පුපුරු ගහන, පිච්චෙන බවක් දැනෙන්න පුළුවන්. ඊට පස්සෙ ඔහුට ඇයට තමා ආදරය කළ පුද්ගලයා මුලදී මුණ ගැහුණු තැන්වලදී නැවත පෙනෙනවා වගේ දැනෙනවා.ඒත් බලනකොට කිසි කෙනෙක් එතන නෑ. තවත් සමහර වෙලාවට වෙන කෙනෙකුට එයා කියලා රැවටෙනවා.එයාගෙ ඇඳුමක් එහෙම වෙන කෙනෙක් ඇඳන් යනවා දැක්කොත් දවසම ඉවරයි.එහෙම හිතලා බලනකොට ඒ ඉන්නේ එයා නොවෙයි නම් අපේ හිත විශාල වේදනාවකට පත්වෙනවා. සමහර වෙලාවට වෙන්වුණු කෙනාගේ කටහඬ ඇහෙනව වගේ දැනෙනවා. මේ වගේ අවස්ථාවල සිතට දැනෙන්නෙ විශාල වේදනාවක්.තවත් සමහර වෙලාවට තමාව හැර ගිය පුද්ගලයා ගැන ලොකු තරහක් ඇති වන්නත් පුළුවන්. “එයාට එපා නම් මටත් එයාව ඕනෙ නෑ” කියලා හිතේ ලොකු තරහක් ඇති කර ගන්නෙ මේ වගේ වෙලාවට. නමුත් එහෙම කියන්නෙ ඇත්තටම එපා වීම නිසා නොවෙයි. ඒකත් වියෝදුක සමනය කර ගන්න මනස යොදන තමන් විසින්ම හදාගන්න උපායක්.ඉතින් ඒබැඳීම තමන්ගේ සිතට දැනුණු ස්වභාවය අනුව මිසක් බැඳීම තිබුණ කාලය අනුව වියෝ දුක තීරණය වෙන තැන් අඩුයි.ඔයා එයත් එක්ක ඉද්දි එයාට ආදරේ දැනේනන දුන්න නම් හොඳටම ඒක කාරණාවක් වෙනවා වියෝ දුක වැඩි කරන්න.ඔයා එයාගේ හැම දේම හොයා බැලුවනම්, අඩු පාඩු බැලුවනම්, හැම ඉඩ ලැබෙන වෙලාවකම ආදරෙන් කතා කරා නම් වචන කිහිපයක් හරි ඒ ආදරේ කවදාවත් මැරෙන්නේ නැ. ඇත්තටම ආදරේ කරානම් උඹ ඒක එයාගේ හිතටයි දැනෙන්නේ එහෙම ආදරයක් ලැබුන බව ඔයාගෙන්.එයත් හිතින් ආදරේ කරාවි. දුක් වේවි හැබැවටම එයාටත් ඔයාව නොලැබෙන එක ගැන.ආදරේ බිඳුණම දුකයි. දෙන්නම එකට ඇවිදගෙන ගිය තැන් මතක් වෙද්දි වාවන්නෙ නෑ තමයි. තමුන්ගෙ කෙනා තවකෙක් එක්ක කියලා ආරංචි වෙද්දි හිතට ලොකු ඉරිසියාවක් එනවා තමයි.  තමන්ගෙ වැරැදිවලට කෑ ගහපු කට, අලුත් මිනිහගෙ වැරදි ඉස්සරහා වැහිලා තියෙනවා දකිද්දි කේන්තියි තමයි.  නමුත් දිනාගන්න බැරිවෙච්ච දේට වෛර කිරීම හරි, පළිගැනීම හරි සාධාරණ නැහැ.  ඒ වගේම ඒ දේ ආපහු දිනාගන්න හදලත් වැඩක් නැහැ. මොකද ආදරේ කියන්නෙ කුසලානයක් නෙමෙයි. ඒක දෙන්නෙක් එකතු වෙලා හදන්න ඕන නිවහනක් "