Wednesday, August 15, 2018

වියැකෙමින් යන මනුස්සකම. . .


Image result for ctb bus



දිනය - 2018-08-12 ඉරිදා
වෙලාව- ප.ව 06.30
සිදුවීම- කුරුණෑගල කොළඹ 5 පාරේ දුවන බසය

                ඔය කියන ඉරිදා හවස පහට කුරුණෑගලින් කොළඹ බලා පිටත් වුන කොළඹ 5 පාරේ දුවන ලංගම බස් එක නාරම්මල හරියෙදි ඉස්සරහා ටයර් එකක හුලං බැස්සා. කොහොම හරි සෙනඟ නාරම්මල ස්ටෑන්ඩ් එකෙන් බැස්සුවා. සිකුරාදට ගෙදර එන අය ආපහු වැඩට යන්න ඉරිද හවසට කොළඹ බලා එන බස් එකක් හින්දා සෑහෙන සෙනඟ කන්දරාවක් හිටියා. ටයර් වලට හුලං පුරවා ගත්තු බස් එක ආයෙත් ගිරිඋල්ල හරියට එද්දී කලින් ටයර් එකේම හුලං බැහැලා. මේක හරියන වැඩක් නෙමෙයි කියලා තේරුම් ගත්තු රියදුරු-කොන්දොස්තර දෙපල ලඟම ඩිපෝවෙන් ලංගම බස් එකකට කතා කරලා ඒක ගෙන්නා ගත්තා. 
               පැය කාලකට වඩා ගියා ඒක එන්න. අලුත ආපු බස් එකේ සෙනඟ නෑ. සීට් හිස්. ඉතින් කොන්දොස්තර කීවා කලින් බස් එකේ වාඩි වෙලා හිටිය අයම ඒ විදිහට මේකෙත් වාඩි වෙන්න කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නෑනේ. ලංකාවනේ. කලින් හිටගෙන ගියපු වයසක තලතුනා උදවිය තමයි මේ අලුත් බස් එකේ සීට් වල වාඩි වුනේ. අපේ තාත්තලා වගේ උදවිය තමයි එහෙම වාඩි වුනේ. ඒත් ඒකට කලින් වාඩි වෙලා ගිය අය එහෙම නෙමෙයි ඉඩ දුන්නේ. අනේ මේ මිනිස්සු මෙච්චර වෙලා හිටගෙන ආවනේ. පව්නේ. අපිත් පොඩ්ඩක් හිටගෙන ගියාම මොකද වෙන්නේ. අපේ තාත්තලා වගේ වයසක, වැඩිහිටි උදවියනේ කියලා හිතුවේ නැතුව අර වාඩි වුන මිනිස්සුන්ට බැනලා නැඟිට්ටවලා කලින් අයම වාඩි වුනා. බස් එක කට කපලා සෙනඟ තමයි. ඒ වුනත්. ඇත්තටම සමහර අය එකමුතුව අර රියදුරු-කොන්දොස්තර දෙපලට සහයෝගය දෙන්න ඕන ඒ වගේ වෙලාවෙදි පාවිච්චි කරපු වචන අශීලාචාරයි. මොකද එතනදි ඒ මිනිස්සු දෙන්නත් අපහසුතාවයට පත් වුන හැටි මම හොඳටම දැක්කා. කණගාටුවෙන් කියන්න ඕන එහෙම කරපු බොහොමයක් අය ඇඟපතේ හයිය තියෙන උදවිය වග. තරුණ හෝ තරුණකම යාන්තම් ගිලිහෙමින් යන අය වග. 
                        මම නම් කොහොමත් කුරුණෑගල ඉඳන්ම හිටගෙනමයි ආවේ. මම බස්වලට නඟිද්දී ඉඳ ගන්නට සීට් තියෙනවද කියලා කවදාවත් බලන්නෙත් නෑ. මම වාඩි වෙලා ගියත් මඟදී බස් එකට නැග්ගොත් හිටගෙන යන්න බැරි වැඩිහිටි කෙනෙක් හරි කාන්තාවක් හරි නැඟිටලා සීට් එක දෙනවා. මම ගැන පම්පෝරි ගහනවා නෙමෙයි. ඒත් කලින් අර සිද්ධියෙදි ඇඟපත හයිය තියෙන මිනිස්සුන්ට හිත දුන්නේ නෑ තමන්ගේ තැන අර වයසක, වැඩිහිටි කෙනෙක්ට වාඩි වෙන්න ඉඩ දෙන්න.
             මම කල්පනා කලේ පැය තුනක විතර ගමනක් යන අතරතුරේදී තමන් වාඩි වෙලා යන සීට් එක අතහැරගන්න බැරි මිනිස්සු කොහොමද මැරෙන වෙලාවට මෙච්චර කාලයක් හිතින්, ගතින් අල්ලා ගත්ත දේවල් එකපාරටම අත හැරගන්නේ කියලා. මුළු සංසාරෙත් එක්ක ගත්තම මේක එක ක්ෂණයක් විතරයි කියලා මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ඇයි කියලයි මට එන අතරතුරෙදි කල්පනා වුනේ...



Saturday, April 14, 2018

කෙමෙන් වෙනස් වෙන කොළඹ හැඩය...

මම අරගත්තු පින්තූරය. වෙලාව හවස 6.15ට විතර ඇති. මේ තමයි One Colombo Project එක ආසන්නයේ ඉදිවෙමින් පවතින  Cinnamon Life ගොඩනැඟිල්ල. අනිත් සේරම පින්තූරවල අයිතිය ගූගල් දෙයියන්ගේ.

       හැමෝටම සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ අරමුණ වුනේ හවස් වෙලාවක කොළඹ නගරයේ අහස ෆෝකස් කරලා අරගත්තු පින්තූරයක් දාන්න වුනත්, ඒක ඔහේ නිකම්ම ඔබලා දාන්න හිතුනේ නෑ. තව විස්තර ටිකක් එකතු කරලා පෝස්ටුවක් විදිහට දාන්න හිතුවේ ඒකයි. මම මුලින්ම කොළඹ එන කාලේ අහස උසට ගිය ගොඩනැඟිල්ලකට තිබුනේ 1996දි හදපු ලෝක වෙළඳ මධ්‍යස්ථානය මේ වගේ තිබුණු තැන් කිහිපයක් විතරයි. යුද්දේ ඉවර වෙනවත් එක්කම වගේ සංවර්ධිත රටවල ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් ලංකාව තුල ආයෝජනය කරන්න ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් නිසා තමයි දැන් මේ කොළඹ අහස වෙනස් කරන, කොළඹ හැඩය වෙනස් කරන ගොඩනැඟිලිවල ඉදිවීමට හේතු වෙන්නේ.


Lotus Tower-නෙලුම් කුළුණ
චීන ණය මුදලකින් නිම වෙන නෙලුම් කුළුණේ උස මීටර් 350ක්. පැරිසියේ අයිෆල් කුලුනටත් වඩා උස ලංකාවේ කොලඹ නගරයේ සංකේතයක් නැත්නම් icon එකක් විදිහට මේක පවතීවි. ඉස්සර නම් කොළඹ සංකේතය වුනේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයයි. නමුත් ඉස්සරහට ඒක වෙනස් වෙලා ඒ අයිතිය පහල තියෙන මොන ගොඩනැඟිල්ලට යාවිද කියන්න බෑ. කොළඹ නගරයට කිලෝමීටර් 20-30ක දුර ඉඳන් බැලුවත් මේ නෙලුම් කුලුණ දැක ගන්න පුළුවන්.

Altair-අල්ටෙයා
සිංගප්පූරුවේ සහ අමෙරිකාව එකතු වෙලා කරන ඉදිකිරීමක්. සුවිශේෂ හැඩයකින් යුක්තව ඉදිකරමින් පවතින  මේ අල්ටෙයා (Altair) ගොඩනැගිල්ල සම්පූර්ණ උස මීටර් 240ක්. 



Shangri-La Colombo-ෂැන්ග්‍රී ලා – කොළඹ
අධි සුඛෝපභෝගී තරු හතේ හෝටලයක් වගේම  සාප්පු සංකීර්ණයකුත්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ආදිය මෙහි ඉදි වෙනවා. දැනටමත් මෙයි එක් පර්යන්තයක් විවෘත කරලයි තියෙන්නේ.



Colombo City Centre-කොළඹ නගර මධ්‍යස්ථානය
කොළඹ ගංගාරාමයට ඉදිරියෙන් අල්ටෙයා ගොඩනැඟිල්ලට ආසන්නයෙන් තියෙන්නේ මේ Colombo City Centre ගොඩනැඟිල්ලයි. සිංගප්පූරුවේ ආයෝජනයක් උඩ තමයි මේක ඉදිවෙන්නේ.



Krrish Square - ක්‍රිෂ් චතුරශ්‍රය
මේ ගොඩනැඟිල්ල නම් තාමත් ඉදිවෙමින් තියෙන්නේ. තව අවුරුදු ගානක් ඉදි වේවි. World Trade Center නැත්නම් Echelon Square එක කිට්ටුවෙන් බොහොම අලංකාරව ඉදිවෙනු ඇති.


Destiny Mall and Residency-ඩෙස්ටිනි
මේක කුලුණු  දෙකකින් යුත් ඉදිකිරීමක්. එකක් සාප්පු සංකීර්ණය සහ අනික නිවාස සංකීර්ණය වශයෙන්. කොම්පඤ්ඤ වීදියේ තමයි ඉදි වෙන්නේ. ටාජ් සමුද්‍රා හෝටලයට සහ Colombo one ව්‍යාපෘතියට ආසන්නයි.

          දැන් කොළඹ වෙනස් වෙලා කියන එක හැබෑවටම දැක ගන්න තව අවුරුදු පහකින් විතර පුලුවන් වේවි. කාලයේ තාලයට නවීකරණය වුන අලුත් කොළඹක් දැකගන්න හැකි වේවි. එතකොට සිංගප්පූරුව, චීනය වගේ රටවල් වල තියෙන නගර එකක් හරි හරියට පෑහෙන්නත් කොළඹට හැකි වේවි. එයට සමගාමීව කොළඹ යටිතල පහසුකම් දියුණු වෙනවාද කියන එක නම් ප්‍රශ්නයක්. ඒකට හොඳම උදාහරණය තමයි කොළඹ කොච්චර දියුණු වුනත් දවල් වරුවේ කොළඹ අවට වාහන තදබදය නම් අඩුවක් නෑ කියන කාරණය. ඒ වගේ දේවල් වලට නිවැරදි විසඳුම් ලැබුනොත් තමයි යුද්ධෙන් පස්සේ කොළඹ සිදුවුන වෙනස් කම් වලට නියම අගයක් ලැබුනා වෙන්නේ.

කොළඹ අවුරුදු සීයකට එහා සහ අද කොළඹ ගැන අදහසක් ගන්න මේ වීඩියෝව බලන්න.