Thursday, September 1, 2016

සිංහයෝ, කොටියෝ, හිපෝලා, මී මැස්සන්, නරියන්, රට හාවන්...



සිංහයෝ- විශාල අවදානම් දරමින් දිගුකාලීන තීරණ ගන්න, උපක්‍රමශීලීව කටයුතු කරන අය. හරියට ආයතනයක ඉන්න නායකයෝ වගේ.තමන්ගේ පිරිස බලාගෙන ආරක්ෂා කරන සිංහයෝ මිසක් උන්ව මරාගෙන කන සිංහයෙක්වත්, නරියන්ව හාවන්ව ගොදුරු කර ගන්න සිංහයෙක්වත් නොවී අභිමානය රැකගත්තු සිංහයෙක් වෙන්න. සිංහයෙක් වගේ හිතුවොත් සිංහයෙක් වෙන්න පුලුවන්.

කොටියෝ- We are second, We try harder කියමින් දෙවෙනි පෙල නායකයන් හැටියට කටයුතු කරන අය. මොවුන්ට නායකත්ව ගති ලක්ෂනවලට වඩා තියෙන්නේ කලමණාකරණ ගති ලක්ෂණ.

හිපෝලා- මීට වසර 20කට විතර කලින් වැඩ පෙන්නලා, අලුත් පරම්පරාවත් එක්ක පෑහෙන්න බැරිව දැන් කාටවත් කරදරයක් නැතිව පැත්තකට වෙලා දෙන වැඩක් කරගෙන ඉන්න අය.

මී මැස්සන්- බොහොමයක් ආයතන වල මහන්සි වෙලා වැඩ කරන පිරිස් අයිති වෙන්නේ මේ ගනයටයි. ගොඩක් මහන්සි වෙලා මී වදේ බඳිනවා. නමුත් වදේ අයිතිය එයාලට නෑ. මී මැස්සන්ට වදේ අයිතිය දුන්නොත් ආයෙත් මල් පැණි හොයන්න යන්නේ නැති වෙන්නත් පුලුවන් නිසා ඒකත් හරි. 

නරියන්- ඕනෑම තැනක ඉන්නවා. දුර්වල කලමණාකාරීත්වයක් ඇති තැන්වල නරියෝ සිංහ වෙස් අරන් වැජඹෙනවා. නරියා කියන්නේ කොහොමත් කපටි සතෙක්නේ. තමන්ට වාසි වෙන විදිහට ඕනෑම අවස්ථාවක් ප්‍රයෝජනයට ගන්න අය.

රට හාවන්- හරිම ලස්සනයි, අහිංසකයි. ඔහේ පාඩුවේ ඉන්නවා. කාටවත් කරදරයක් නෑ. ඒත් ගොඩක් රට හාවන් ලෙහෙසියෙන්ම වැඩ කල්දානවා. කම්මැලියි. මොකක් හරි excuse එකක් තියෙනවා. ඕනෑම ආයතනයක නවකයෙක්ට මේ රට හාවන්ගේ කුලකයේ ටිකක් කල් ඉන්න සිද්ධ වෙනවා. නවකයන් දිගටම රට හාවෙක් වෙලා ඉන්නවට කැමති පිරිස් ඉන්නවා. ඒත් දිගින් දිගටම රට හාවෙක් වෙලා ඉන්න හිතන්න නම් එපා. තමන්ගේ විභව ශක්තිය උපයෝගී කරගෙන ටිකෙන් ටික පරිණාමය වෙලා කොටියෙක් ,  සිංහයෙක්ම වෙන්න.

කැලුම් වැලිගම රචනා කල "තරඟයේ වීරයා" කෘතිය කියවා උකහාගත් කරුණු සාරාංශ කර ලියන ලද්දකි...

Monday, August 15, 2016

"අපේ ගම" බලන්න යමු





               කොළඹ කියන්නේ වාණිජ පරමාර්ථයන් උදෙසාම නිර්මාණය උන නගරයක්. කඩි මුඩියේ දුවන මිනිස් සමූහයාගෙන් පිරි කොළඹ නගරයේ කලබලකාරී ස්වභාවයෙන් පොඩි මොහොතකට මිදිලා පොඩි රිලැක්ස් එකක් වගේම ගතටත් හිතටත් චේන්ජ් එකක් ගන්න පුලවන් තැනුත් නැතුවාම නෙමෙයි. ඒත් ඉතින් හැබෑම ගම් පලාතක , වෙල් යායක, කඩ මණ්ඩියක ඇවිදලා ගමේ පරණ උදවියත් එක්ක කතා කරලා ලබා ගන්න පුලුවන් අත්දැකීම වෙනමම එකක්. ඉතින් එහෙම පරණ තාලේ ගමක හැඩ හුරුකම මේ කාලෙදි නම් ලංකාවේ කොහෙදිවත් ගන්න ලැබෙන එක්ස්පීරියන්ස් එකක් නෙවි. ගමක් කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරුම් කරන්න ඕන නම් කොළඹ උදවිය තමන්ගේ දරුවන්ව එක්ක එන්න කියාපු තැන. එහෙම තැනක් බලන්න ඕන කියලා අනිත් අයටත්  අදහසක් තියෙනවා නම් බත්තරමුල්ල අපේ ගම කියන්නේ ඒකටත් හොඳ තැනක්. ජාතික පාර්ලිමේන්තුව පෙනෙන තෙක් මානයේ හැබෑ ගමක හැඩ හුරුකම කෘතිමව නිමවපු "අපේ ගම" කියන තැන ගැන තමයි දැන් කියන්න හදන්නේ. කෘෂිකාර්මික ජීවන රටාවක් හා සහසම්බන්ධ වුනු පාරම්පරික කර්මාන්ත මත පැරණි ගම ගොඩ නැංවුනු හැටිත්, ඔවුන්ගේ චර්යාවන්, ඇදහීම් වගේම  ගමටම ආවේණික ලක්ෂණත් "අපේ ගම" තුල මනාව නිරූපණය කරලා තියෙනවා. 
               කොළඹ ඉඳන් බස් එකෙන් යනවා නම් කොටුව - පැලවත්ත එකේ ගිහින් යන්නත් පුලුවන්. නැත්නම් බොරැල්ලට ගිහින් බොරැල්ල - කොට්ටාව එකේ ගිහින් යන්නත් පුලුවන්. කොහොම ආවත් දියත උයන හරහායි එන්නේ. යන ගමන් එතනිනුත් බැහැලා පොඩ්ඩක් ඇවිදලා යන්න පුලුවන්. ඒ වගේම කොට්ටාව - බොරැල්ල එක ගන්න පුලුවන් කොට්ටාවෙන්. මොන විදිහෙන් ආවත් පාලං තුන හන්දියෙන් බැහැලා පාර්ලිමේන්තු පිටිය පාරේ කිලෝමීටර් බාගයක් විතර යන්නයි තියෙන්නේ. වාහනයකින් එනව නම් කොටුවෙන් ඉබ්බන්වල හන්දියටත්, එතනින් බොරැල්ලටත් , කොටා පා‍ර දිගේ ශ්‍රී ජයවර්ධනපුර පාරට දාලා අපේ ගමට එන්නත් පුලුවන්.


              ඇතුල් වීමට එක් අයෙකුට රුපියල් පනහයි. ගමට පිවිසෙද්දී මුලින්ම හමුවෙන්නේ කඩ මණ්ඩිය.


            පරණ කෝපි කඩේ විදිහටම බොයිලේරුවක වතුර පැහෙනවා. පොල්කටුවකට පුරවලා බෙලිමල් - රණවරා ගන්න පුලුවන් හකුරු කෑල්ලකුත් එක්කම රුපියල් විස්සකට. අපි නම් බෙලිමල් කෝප්පයයි කුරක්කන් හැලපයි කෑවා. කඩ මණ්ඩිය පහුකරන් එද්දී බෙරකාර ගෙදර. බෙරකාර ගෙදර ගුරුන්නාන්සේ ගෙන් දවුල්, තම්මැට්ටම් ගහන්නේ කොහොමද කියලා හරි අපූරුවට දැනගන්න හැකියාව තියෙනවා කියලා අහන්න ලැබුනත් අපිට නම් එහෙම හෝඩුවාවක් හොයාගන්න බැරි වුනා.ඊලඟට කන්දේ මාමාගේ ගෙදර. ඉස්සර මගුලක් තුලාවක් වුනාම පෙරමුණ ගන්නේ කන්දේ මාමාලු. මනමාල පාර්ශ්වයෙන් ගෙනියන කද ගෙනියන්නේත් මේ චරිතය විසින්. ජීවමානව දකින්නට නැති වුනත් ඒ විදිහටම උසට මහතට හරියන විදිහට ඒ ඒ රූප හදලා පරණ ඇඳුම් අන්දවලා තියෙන හැටි හරිම අපූරුයි.











          ඊලඟට ගුරු ගෙදර. එක එක තැන්වල කුකුල් කොටුවක්, කමතක්, කම්මලක් වගේ විවිධ දේවල්. ඊට පස්සේ වලව්ව. වලව්වේ මිරිස් ගලක්, මැටි කලයක්, වට්ටි, පැදුරු, වංගෙඩි, ඉස්සර කකුල් වලට දාපු හම් සෙරෙප්පු වගේ ජාතියක්, පැරණි බෑග් වර්ග, පෙට්ටගම්, කුරණි, සී සාන්නට ගත්ත නඟුල වියගහ වගේ දේවල්. ඒ දේවල් වල විස්තර කියන කුලුපග ගැමියෙක්.  ගමේ සජීවී බව පවත්වා ගන්න අනුරාධපුර, ගල්ගමුව වගේ දුර පලාත් වලින් පැමිණි බොහොම හිතෛෂී, කුලුපග ගැමියන් සිනාමුසු මුවින් යුතුව හොඳ මෙහෙයක් කරනවා. සජීවීව ඉන්න ගැමියන්ට අමතරව ඒ ඒ තැන් වල මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේ රූප අඹලා තියෙනවා වගේ පරණ ගැමි රූප මවලා තියෙනවා. නිසි නඩත්තුවක් නොමැති කමින් සමහර රූප කාටුන් වගේ වෙලා.

















             පැරණි ගම්වල තිබුනු රේන්ද බීරලු ගොතන වෙලඳ කුටි, යකඩ පිත්තල වැඩ කරන තැන්, කැටයම් කපන කර්මාන්ත වගේ විවිධාකාර තැන් වගේම ඒවායින් නිපදවන දේවල් අලෙවියට තබා ඇති අයුරුත් දකින්නට පුලුවන්.
















             බලධාරීන්ගේ නිසි අවධානයක් නැති කමින් මේ තැන් වලින් සමහරක් ගරා වැටෙන්නට ඇරලා. ඒ ඒ තැන් වල සලකුණු විදිහට තියෙන පිලිරූ අපවිත්‍ර වෙලා. පිදුරු ඉලුක් සෙවිලි කල සමහර වහල ගරා වැටෙන්න අරන්. ඒවා නම් පිලිසකර වෙයි කියලා හිතුනේ තැන් තැන් වල ගොඩ ගහපු වියපු පොල්අතු දැක්කාමයි. මුව මයුර සත්වෝද්‍යානය (Deer and Peacock) කියලා පටන් ගත්ත සත්වෝද්‍යානය නම් වැහිලාම ගිහින්. මම නම් හිතන්නේ හරියට කෑම බීම දෙන්න බැරිව බලාගන්න බැරිව සත්තු තියා ගන්නවට වඩා ඒක වහලම දාන එක හොඳයි. 
                     තව එකක් තමයි මේ අපේ ගම පරිශ්‍රයේ තියෙන වීර, කුඹුක්, දොඹ වගේ වටිනා ගස් වර්ග හඳුනා ගැනීමට බෝඩ් කෑල්ලක් හදලා ගැහුවා නම් ඉතාමත්ම වටිනවා. සෑහෙන පිරිසක් දිනපතාම අපේ ගම නරඹන්නත් එනවා. ඒ අතරේ විදේශකයිනුත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ලෝකය පුරා අපේ සංස්කෘතිය ගෙනියන අපේ ගමට මීට වඩා සැලකිල්ලක් දෙන්න ඕන සංස්කෘතික අමාත්‍යාංශය විසින් කියලයි මම හිතන්නේ. ‍





Thursday, July 14, 2016

අත් හල යුතු පුරුදු . . .


          


  මාසයක් තිස්සේ මහන්සි වෙලා, බැනුම් අහලා, OT කරලා අපි ගන්න මාසේ පඩිය, නැත්තම් මාසික ආදායම  ඒ මාසයේ වැඩ ටික කරගන්න මදි වෙන එක සාමාන්‍ය දෙයක්. මේ හේතුවෙන්  අපි සමහර වෙලාවට සමහර වියදම් අපේ ලැයිස්තුවෙන් කපා හරිනවා. ඒ අතරේ අනවශ්‍ය වියදම් වගේම අත්‍යවශ්‍ය වියදම් තියෙන්නත් පුලුවන්. කොහොම වියදම් පාලනය කලත් සමහර තැන් වලදී අපිට පාලනයෙන් තොරව වියදම් වෙන තැන් තියෙනවා. මං කියන්නම් මොනවද ඒ පොඩි පොඩි වියදම් කියලා. මේවා පොඩි වියදම් වුනාට දවස් ගානක ඒවා එකතු වුනාම පුදුම හිතෙනවා අපි මෙච්චර නාස්ති කලාද කියලා.


දුම් පානය



        දුම් පානය කියන්නේ ශරීරයට වගේම සාක්කුවටත් කොහොමත් හොද පුරුද්දක් නොවෙයි. ලංකාවේ දිනකට පුද්ගලයින් 60 දෙනෙක් විතර මියයනවා මේ හේතුවෙන්. ඒ වගේම පිලිකා රෝගීන් අතරින් 60%ක් පමණම දුම් පානය කරන්නන් තමයි ඉන්නේ. මේ පුරුද්දෙන් මුදල් නොදැනීම ගිලිහෙනව විතරක් නෙවෙයි, ඔයාගේ ශරීරයත් නොදැනීම දුර්වල වෙලා රෝගී උනාම තව තවත් මුදල් වැය වෙනවා අසනීප හොඳ කරන්නට. මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීමට,  වසරින් වසර හැම අය වැයකින්ම මත්ද්‍රව්‍ය සඳහා වෙන බදු ඉහල දාන නිසා දුම්වැටි සදහා වැය වන මුදලත් වසරින් වසර වැඩි වෙනවා. කලාපීය හා ගෝලීය වශයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වුනාට ශ්‍රී ලංකාව තුල මේ තොරතුරු ග්‍රාමීය මට්ටමට යනවා අඩුයි කියලයි මම හිතන්නේ.


ඔබ දිනකට දුම්වැටි 5ක් බොන කෙනක් නම්,

දිනකට - 175/-
මසකට - 5250/-
වසරකට - 63875/-

ඉතින් ඔබ දුම් බොන කෙනෙක් නම් හිතල බලන්න මසකට රු. 5000ක් පමණ ඔබේ සාක්කුවෙන් නොදැනීම වැය වෙන්නේ කිසිම තේරුමක් නැති ඔබව රෝගී තත්වයට පත් කරන දේකට නේද?



මත්වතුර පානය



          2015 වසරේ  සමීක්ෂනයකට අනුව ලංකාවේ අවුරුදු 15ට වැඩි පිරිමින් 38%ක් ඇල්කොහොල් භාවිතා කරනවා. පාටියකදී, සතුටකදී, දුකකදී , ප්‍රශ්න අමතක කරන්න කියලා මොන හේතු ඉදිරියට දාලා පානය කලත් මත්වතුර කියන්නෙත් අපිට නොදැනීම සාක්කුව හිස් කරන පුරුද්දක්. අපි මුදල් පැත්ත ගැන හිතමු.  සමහරු හිතයි මම හැමදාම බොන බේබද්දෙක් නෙවෙයි නේ. මම ඉදලා හිටල බොන්නේ ලොකු වියදමක් ඒකට යන්නේ නෑ කියලා. හිතන්න ඔයා බොන්නේ සතියකට දවස් 3ක් කියලා. ඒකත් බොන්නේ බියර් එකක් විතරයි. වැඩි වියදමක් නැහැ.


ඔබ සතියකට බියර් බෝතල් 3ක් බොන කෙනෙක් නම්,

සතියට -  660/-
මසකට - 2640/-
වසරකට -  31680/-



තේ පානය

අපි සමහර වෙලාවට උදේ තේ එක බොන්නෙත් නැතිව රැකියාවට යන්නේ. ඊට පස්සේ අපි උදෑසන තේ එක බොන්නේ කඩේකින්, නැත්නම් කාර්යාලයේම තියෙන කැන්ටින් එකෙන්. සමහර අයගේ පුරුද්දක් තියෙනවා නිතරම කඩේකින් තේ බොන්න ඕනි. ගොඩක් අය මේ තේ එක බොන්නෙ දුම්වැටියක් එක්ක. සමහර අය තේ බොන වෙලාවට මොනව හරි කන්නත් පුරුදුවෙලා ඉන්නවා. මේ පුරුද්ද නිසා ඔබට නොදැනීම ලොකු මුදලක් වැය වෙනවා.

ඔබ උදෑසන තේ එක විතරක් දිනපතා කඩේකින් බොන කෙනෙක් නම්,

දිනකට - 30/-
මසකට - 900/-
වසරකට - 10800/-

උදෑසන තේ එක ගෙදරින් බීලා අවොත් ඔයාට මේ මුදල ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තේ එකේ පිරිසිදු බව ගැනත් විශ්වාසය තියන්න පුළුවන්.



දිවා ආහාරය පිටින් ගැනීම

රැකියා කරන බොහෝ දෙනා දිවා ආහාරය පිටින් ගැනීමේ පුරුද්දට හුරු වෙලා ඉන්නවා. සමහර අයට ගෙදරින් කෑම එකක් ගේනන් පුළුවන් කම තිබියදීත් දිවා ආහාරය ගන්නේ කඩේකින්මයි. මේ පුරුද්දෙන් සාක්කුවට බලපෑමක් කරනවා වගේම සෞඛ්‍යට ලොකු හානියක් වෙනවා. පිටතින් ගන්න ආහාර වල ගොඩක් වෙලාවට කෘත්‍රිම රස කාරක අඩංගුයි. ඒ විතරක් නෙවෙයි මේවගේ පිරිසිදු බව ගැනත් අපිට විශ්වාසයක් තියන්න බැහැ.

ඔබ දිවා ආහාරය දිනපතා පිටතින් ගන්න කෙනක් නම්,

දිනකට - 150/-
මසකට - 4500/-
වසරකට - 54000/-


නිවස, වාහනය නිසි වේලාවට නඩත්තු නොකිරීම

ඔබගේ නිවසේ වහලයේ පොඩි සිදුරකින් ජලය කාන්දුවීමක්, බිම ඇති වූ පොඩි කඩතොලු ගැන හිතන්න. මේ දේවල් අපි එතරම් ගණන් ගන්න දේවල් නෙවෙයි. ඒත් මේවා නිසි වේලාවට නඩත්තු නොකලොත් මේ ගැටළුව ටිකෙන් ටික වැඩි වී අවසානයේ විශාල අළුත් වැඩියාවක් කිරීමට සිදුවෙනවා. වානයටත් මේ දේම තමයි සිදු වෙන්නේ. අපි ගොඩක් වෙලාවට වාහනයේ සර්විස් එක නිෂ්පාදකයින් දී තිබෙන කාලයේදීම කරන්නේ නැහැ මෙයින් එන්ජින් එකට හානි සිදු වන අතර එයින් අවසානයේ විශාල වියදමක් දැරීමට ඔබට සිදුවෙනවා. මේ නිසා පොඩි පොඩි අළුත්වැඩියා කටයුතු ඉක්මනින්ම කරන එක ඔබේ සාක්කුවට ගොඩක් වාසි දායක දෙයක්.


ලොතරැයි පත් මිලදී ගැනීම

    බොහෝ දෙනෙක් ඉක්මනින් ධනවතුන් වීමට සිතා විශාල මුදලක් ලොතරැයි සදහා වියදම් කරනවා. ලොතරැයි කියන්නෙත් තවත් එක් සූදුවක් විතරයි. ලොතරැයි දිනුමකින් ප්‍රථම ත්‍යාගයක් ලැබෙනවා කියන්නේ මිලියන ගණනකින් එක් අයකුට ලැබෙන අවස්ථාවක්. ලක්ෂ ගණනක් මිනිසුන් තමන්ගේ මුදල නැති කරගන්නා විට කිහිපදෙනෙක් ඒ මුදල් ලබා ගැනීම තමයි අන්තිමට වෙන්නේ. ලොතරැයි වලින් කෝටිපතියන් වූ බොහෝ දෙනෙක් වසර කිහිපයකින් නැවතත් ඉතා දුගී තත්වයට පත්වන්නේ ඉක්මන් ධනවතකු වීමේ අනිටු ප්‍රතිඵලයක් ලෙසයි. ඔබට ධනවතෙක් වෙන්න අවශ්‍ය නම් ලොතරැයි සදහා වියදම් කරන මුදල් ඉතිරි කිරීමේ ගිණුමක හෝ කොටස් වෙළදපල වැනි තැනක ආයෝජනය කරන්න.

ඔබ දිනකට ලොතරැයි 5ක් මිලදී ගන්න කෙනෙක් නම්,

දිනකට - 100/-
මසකට - 3000/-
වසරකට - 36000/-

බොහෝ අයට මෙවැනි මුදලක් වියදම් කළ විට වසරකට උපරිම රු. 10000/- පමණ දිනුම් අවස්ථා ලැබෙන්නට පුළුවන්.


බිල්පත් ප්‍රමාද වී ගෙවීම

        මේ පුරුද්ද නම් අපි හැමෝටම වගේ තියෙන පුරුද්දක්. අපි ගොඩක් වෙලාවට අපගේ බිලපත් නියමිත වෙලාවට ගෙවන්නෙම නැති තරම්. මසකට කෙනෙකුට ගෙවන්න වෙන අනිවාර්ය බිල් ගැන හිතන්න. දුරකථන බිල, ජල බිල, විදුලි බිල්, අන්තර්ජාල හා කේබල් ටීවි බිල්, මාසිකව ගෙවීමට ඇති ණය වාරික අපි හැම කෙනෙකුටම වගේ තියෙනවා. මේ හැම බිලක්ම ගෙවන්න පරක්කු වුණොත් අදාල සමාගමෙන් ඔයාගෙන් පොඩි පොලියක් අය කරනවා. හොදට බලන්න ඔයාගේ බිලපත් වලත්  late payment  කියලා පොඩි මුදලක් එකතු කරල ඇති. බොහෝ විට මේ මුදල බිල් පතින් 2% ක් වගේ වෙනවා. ලීසිං වාරික වල වගේ නම් ඊටත් වැඩි වෙන්න පුළුවන්. හොඳම දේ තමයි Online Banking system එකක් හදාගන්න එක. එතකොට පඩි වැටුනාම Online Banking system එකට log වෙලා කල් දමන්නේ නැතුව, Payment Section වල රස්තියාදුවක් නැතුව, කාලය ඉතුරු කරගෙන ගෙවලා දාන්න පුලුවන්.


සීමාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීම

       දැන් අලුත් trend එකක් විදිහට අතේ ඇති smart phone එක ආධාරයෙන් අන්තර්ජාලයේ වෙබ් සයිට් වල, වැඩියෙන්ම facebook වගේ සමාජ අඩවි වල ගැවසීම දකින්න පුලුවන්. දවසට රුපියල් 100/=, 200/= දාලා මහන්සියෙන් හොයාගන්න තුට්ටු දෙක ඉවර වෙද්දී ආයෙමත් රීලෝඩ් කරලා යන්නමයි හිතෙන්නේ. මේකත් හරියට සූදුවක් වගෙයි. දැනගෙන සීමාවක් ඇතුව කරන්න ඕනේ දෙයක්. ඉතින් ඔබත් මෙහෙම අන්තර්ජාලයේ නිකරුණේ කරක් ගහන්නේ තමන්ගේ වටිනා කාලය හා මුදල් නාස්ති කරමින් නම් හිතන්න ඒ ගැනත්. තමන්ම ගනන් හදලා බලන්න මාසෙ අන්තිමේට කොච්චර මුදලක් නාස්ති කලාද ඒ වෙනුවෙන් කියලා. දුරකතන සමාගම් කීයක් අපි විදින් පොහොසත් කරන්න ඇතිද කියලා බලන්න.

              මේ තියෙන්නේ අපිට නොදැනීම දිනපතා ගිලිහෙන මුදල් ගැන ඉතාමත් අඩුවෙන් තක්සේරු කරලා ඉදිරිපත් කරපු ගණන් ටිකක්. මේ නරක පුරුදු නිසා ඔබේ සාක්කුවෙන් ගිලිහී යන මුදල් ප්‍රමාණය නිවැරදිව ගණනය කරන්න පුළුවන් අපිටම විතරයි. ඒක හරියට ගණනය කළොත් හිතාගන්න පුළුවන් වසරකට කොපමණ මුදල් නිකරුණේ ඔයාගේ අතින් වියදම් වෙනවද කියලා. හැකි තරම් මේ වගේ දේවල් වලින් අත් මිදෙන එක කරන්න පුලුවන් නම් ඒ නිකරුණේ වියදම් වෙන මුදල් වැදගත් දේකට යොදවන්න පුලුවන්.

ජය වේවා...

ලැබුන ඊමේලයක ඇති තොරතුරු යාවත්කාලින කර ඉදිරිපත් කල එකක් බව සලකන්න...  

ප.ලි - 

මීට අමතරව ඇවිදින්න ගියාම කෙල්ල එක්ක සාප්පු සවාරි ගියාම අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වෙන හැටි නම් ඉතින් කොල්ලෝ දන්නවා ඇතිනේ....