Friday, June 7, 2013

මම කියවපු පොතක් - නැපෝලියන් හිල්ගේ "Grow Rich with Peace of Mind"




                    යම් පුද්ගලයෙකුගේ පෞරුෂය , එහෙමත් නැත්නම් අපේ කටට හුරු "Personality"  එක ඔහුගේ හෝ ඇයගේ සිතේ දුක් නොමැති වීමට හා සතුට රඳා පැවතීම සඳහා කෙලින්ම බලපායි. පෞරුෂය කියන්නේ යම් පුද්ගලයෙක් දීර්ඝ කාලයක් තිස්සේ යම් යම් අවස්ථා වලදී හැසිරෙන ආකාරයන්ගේ සම්පිණ්ඩනයකට. ඒ වගේම  ජීවිතයේ උදාවන විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරයයි. මේ හැසිරීම් සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නෑ. කෙනෙක් හැමවෙලාවකට හැම දෙයක්ම පිලිවෙලට කරනවානම් ඒ ඔහුගේ/ඇයගේ පෞරුෂ ලක්ෂණයක්. ඒ හැසිරීම සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නෑ. නිතරම කේන්තියෙන් පසුවෙනවා නම් ඒකත් පෞරුෂ ලක්ෂණයක්. හැබැයි ධනාත්මක හා සුභවාදී එකක් නොවෙයි ඒ. සිතේ සාමය වර්ධනය කරගැනීම සඳහා පුද්ගලයා නිරතුරුවම උත්සාහ කලයුත්තේ තම සුභවාදී හා ධනාත්මක පෞරුෂය දිගටම  රඳවා ගැනීමටයි. එවිට පිටතින් පැමිණෙන දුක් , කම්කටොලු, පීඩන, මානසික වැටීම් යනාදී සතුරන් , පෞරුෂය නමැති දොරටුව අසලදි ආපසු හැරීයයි. මම මේ දවස්වල කියවමින් ඉන්න ජීවිතය ධනාත්මක කරගන්න පුලුවන් ගොඩක් වටිනා කරුණු රැසක් අඩංගු පොතක් තමයි ඇමරිකන් ජාතික Napoleon Hill නම් ධනාත්මක චින්තනය පිළිබඳව දේශකයාගේ "Grow Rich with Peace of Mind" කියන පොත. ඒ පොතේ තමයි මේ කියූ කරුණු සඳහන් වෙන්නේ. ඒ වගේම පොතේ මැද හරියෙදි ඉතාමත් වැදගත් යැයි කිව හැකි  කරුණු 43ක් දැක්වෙනවා. මේ පහලින් තියෙන්නේ ඒ කරුණු. ඔයාලටත් වැදගත් වේවි. ඒවා දකිනවිටදි ඒවා තමන් ගාවත් තියෙනවදැයි කියලා විමසිල්ලෙන්ම කියවන්න.


  1. ඕනෑම අසීරු අවස්ථාවකට මුහුණ දීමේ හැකියාවක් ඔබ සතුව තිබිය යුතුය. එනම් ඒ අවස්ථාව පහසු වීමට ඔබට කිසිම විකල්පයක් නොදුන්නත් එයට මුහුණ දිමට ඔබට හැකියි.
  2. තමාගේ සිතේ පැනනගින කුමන හැඟීමක් වුවත් තමන්ට රිසි වේලාවක පාලනය කරගත හැකියි.
  3. තමා වෙත පැවරෙන ඕනෑම කටයුත්තක් කිරීමේ ආත්ම විශ්වාසය තිබිය යුතුයි.
  4. අසීරු අවස්ථාවන්හිදී කලබලයකින් තොරව ඉවසීමෙන් හා ප්‍රෙව්ශමෙන් කටයුතු කිරීමේ හැකියාව.
  5. සාර්ථක වෙනවිටදී එහි පාලනය තමන් සතුකර ගැනීමේ හැකියාව තිබිය යුතුයි. 
  6. කිසිවක් හෝ කිසිවෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට, මැසිවිලි නැගීමට ඉදිරිපත් නොවේ.
  7. වෙනත් බාහිර පුද්ගලයින් හට අවමන් කිරීමට හෝ ඔවුන් සුලුකොට තැකීම කිසිවිටෙක නොකල යුතුයි.
  8. තමන් පිළිබඳව අනවශ්‍ය පුරසාරම් හෝ තමා පිළිබඳව අන්‍යයන්ට දෙඩීම ඔබට නුහුරු විය යුතුයි.
  9. තමන් දකින සියලු දේවල් පිළිබඳව විචක්ෂන නුවණකින් යුතුව විවෘත මනසකින් දැකියි හැකි විය යුතුයි.
  10. කිසිවෙකුට හෝ කිසිම දෙයකට අහේතුක බියක් නොතිබිය යුතුයි.
  11. ඕනෑම සබඳකමකදී නිවැරදි අරමුණක් තිබිය යුතුයි.
  12. යම් දෙයක් පිළිබඳව පිරිසක් ඉදිරියේ හෝ තම ස්ථානයේදී අසහසක් ඉදිරිපත් කිරීමේදි ඒ පිළිබඳව නිවැරදි දත්තයන් තමන් සතුවිය යුතුයි. එමෙන්ම නොදන්න යමක් පිළිබඳව  “ඒ ගැන මන් දන් නෑ“ යනුවෙන් පැවසීමටත් ඔබ නොපැකිලෙයි.
  13. ආගම් භේද, ජාති භේද, වර්ග භේද ඔබ විසින් නොසලකන හා ඔබට නුහුරු ඒවා විය යුතුයි.
  14. ආහාර ගැනීමේදී මධ්‍යස්ථව ගනී. වැඩිපුර ආහාර ගැනීමට ඔබ ප්‍රිය නොවෙයි.
  15. විෂයන් රාශියක් පිළිබඳව ඉතා පුලුල් දැනුමක් තිබුනද අවශ්‍ය තැනදි මිස අනවශ්‍ය ආකාරයට තම පාණ්ඩිත්වය පෙන්වීමට නොයා ඒ වෙනුවට සියලු විෂයන් හදාරයි.
  16. කිසිදු මතවාදයකට හෝ කිසිදු බලයකට ඔබේ සිතට හෝ ඔබේ ආර්ථිකයට බලපෑම් කල හැකි නොවෙයි. ආධ්‍යාත්මික අතින් ද ඔබ ශක්තිමත්ය.
  17. කිසිදු කරුණක් අරඹයා ඔබ ඔබ වටා සිටින පුද්ගලයන්ට තමාගේ සතුරන් වීමට ඉඩ නොදෙයි.
  18. තමන්ට මෙන්ම තමා වටා සිටින පුද්ගලයන්ගේ වුවද යහපත, සාමය ඔබ විසින් උදක්ම බලාපොරොත්තු වෙයි.
  19. කිසිදු කාලයකදී දිළිඳු හෝ අවාසනාවන්ත අඩියකට වැටී ජීවත් වීමේ අභිප්‍රායක් ඔබේ සිතේ නැති.එසේ තත්වයකට පත් වුනු වකවානුවකදි වුවද ඔබ කටයුතු කරන්නේ ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් සිතකිනි. 
  20. පවුලේ සාමාජිකයන් ඔබ නිවසට පැමිණෙන අවස්ථාවකදී කටයුතු කරන්නේ ඉතාමත් සතුටිනි. ඔබගේ හඬ පවා ඔවුනට සතුටකි.
  21. තමා සතු යම් දෙයක් අන්‍යන්ට දී ඔවුනගේ සතුට දැක සතුටුවීමට ඔබ ප්‍රිය වේ.
  22. අසාධාරණයක් හෝ තමන්ට වරදක් කරන කෙනෙකුගෙන් නැවත පලිගැනීමේ සිතක් ඔබට නොවේ. ජීවිත ගමන අසීරු කරමින් තමා හැර දමා ගිය කෙනෙකුට වුවද ඔබ වෛර නොකරයි.
  23. යම් පුද්ගලයෙකු තමන්ට කොතරම් වැරදි කර තිබුනත් වෙනත් කෙනෙකු හා කතා කරද්දි ඔහුගේ වැරදි හුවා දැක්වීම ඔබට නුහුරු දෙයකි.
  24. සුභවාදී මනසක් හිමි ඔබ ඒ ආකාරයකටම ධනාත්මකව කටයුතු කරයි.
  25. අනාගතය සැලසුම් කිරීමේදී තමාගේ අතීත සිදුවීම් අධ්‍යනය කර අනාගතයට ඒවායින් පන්නරයක් ලබා ගනී.
  26. යම් අයෙකු වැරදිකරුවෙකු කිරීමට වඩා ඔහුට සමාව දීමට ඔබ ඉක්මන්ය.
  27. යමෙකු අවංකව කටයුතු කීරීමේදී ඔහු අතින් සිදුවන වැරදි සම්බන්ධයෙන් ඔබ අනුකම්පා කරයි.
  28. වෙනත් අයෙකුට අලාභයක් වෙන විටදී තමන්ට එහි වාසිය හිමිවන ගනුදෙනුවක් ඔබ කිසිකලෙකත් නොකරයි.
  29. ඔබ ණය බරින් තොර ස්වාධීන පුද්ගලලයෙකි.
  30. ඔබට තවදුරටත්  ධනය ඉපයීමට හැකි බව ඔබට වැටහේ නම් අන්‍යයන්ට පලදායී යමකට ඒවා යෙදීමට ඔබ කැමතිය.
  31. ජීවිතයේ හමුවන සියලු පරාජයන් හා වැටීම් ඔබ දකින්නේ අනාගත සාර්ථකත්වය උදෙසා තමන්ට ලැබෙන වත්කම් ලෙසිනි.
  32. පරාජයන් සියල්ල තාවකාලික බව ඔබ දනී.
  33. තම ජීවිතයේ ප්‍රධාන අරමුණු කිහිපයක් හිමි ඔබ කාලය වැය කරන්නේද ඒවා සාර්ථක කරගැනීමටය.
  34. ඔබ තම අරමුණුවලින් මිදෙන්නේ නම් ඒ, අත්දැකීම් හා ප්‍රතිලාභයන් ලැබීමටය.
  35. ඔබගේ ජීවිතයේ ප්‍රාර්ථනාවන් බොහොමයකි. ඒ සියලු ප්‍රාර්ථනාවන් තම ජීවිතයේ පියවරක් හෝ තමන්ව ඉහලට ඔසවා තබන ඒවා මිස, වැඩකට නැති ඒවා නොවේ.
  36. තමන්ගේ අනාගත සාර්ථකත්වය පිළිබඳව චිත්‍රයක් ඔබේ මනසෙහි ඇති අතර, ඔබ අනුගමනය කරන්නේ එම චිත්‍රයයි. කිසිවිටෙකත් තම සාර්ථකත්වය පිළිබඳව උදම් ඇනීම හෝ කයිවාරු ගැසීම ඔබට නුහුරු දෙයක් වන අතර කල යුතුදේ අවශ්‍ය මොහොතේ වහාම ඉටු කරයි.
  37. විවිධත්වයෙන් යුතු මිනිසුන් ආශ්‍රය කරමින් ජීවිතයට විවිධත්වයක් හා ඒ ජීවිතවලින් පාඩම් ඉගෙනීමේ පිපාසයක් ඔබ සතුය.
  38. ඔබේ දේශයට ඔබ අවශ්‍ය පුද්ගලයෙකු යැයි ඔබ සිතන අතර ඒ වෙනුවෙන් කටයුතු කරයි.
  39. ගැටලු , මතබේද හමුවේ කලබල නොවයි. 
  40. ක්‍රියාවෙන් හා කතාවෙන් අන්‍යයන් තම වසඟයට ගැනීමේ සමත්කමක් ඇති ඔබ තම කටයුත්තකදී වෙනත් අයගේ සහයෝගය ලබා ගැනීමට ශූරයෙකි.
  41. දුක් කරදර හමුවේ කලබල නොවෙන අතර ඒවාට තම ජීවිතය ජය ගැනීමට ඉතා අපූරු ශක්තියක් ඇතියි ඔබ සිතයි.
  42. අපේක්ෂා බිඳ වැටීමට හෝ බොහෝ ආදරය කල අයෙක් තමන්ගෙන් ඈත්විම පිළිබඳව ඔබ සිතු තැවුලට පත් නොවේ. ඒ වෙනුවට එසේ වීමට හේතු විමසා බලයි. ඒවා නිවැරදි කර ගනියි.
  43. ඕනෑම අයෙකුට තමන්ගෙන් ඉටුවිය දෙයක් ඇත්නම් ඉටු කර දෙයි. ඔවුන්ට ඉහලම සේවයක් ලබාදෙයි.


     මේ කරුණු වලින් අඩුම තරමේ තුනෙන් දෙකක්වත් ගැලපෙනවා වගේ නම් ඔබ සාර්ථකයි. ඔය කීවට මගෙ නම් තුනෙන් දෙකක් නෑ D : ).. මේ සියල්ල කියවද්දි තවත් කෙතරම් අංග ලක්ෂණ සම්පූර්ණ විය යුතු දැයි  වැටහීමක් එනවා. එමෙන්ම ඔබේ මනසේ ප්‍රබලත්වය පිළිබඳව ඔබටම අදහසක් ඇති වෙනවා. මේ ධනාත්මක පෞරුෂය ගැන කියලා දෙන වටිනා කරුණු රැසක් අඩංගු , මට අහම්බෙන් හමුවුන තවත් බ්ලොගයක්. නැවත හමුවෙන තුරු ජයෙන් ජය...