Thursday, January 27, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Fiber Optics Light Gloves



            මේ වෙද්දී මගේ බ්ලොග් එක පොස්ට් පනහක් පහුකරලා ඉවරයි. ඉතින් මම පලමුවෙන්ම අද පෝස්ට් එක ලියන්න පෙර මෙතුවක් කල් මගේ පෝස්ට්වලට මට කමෙන්ට්ස් කරපු කට්ටියට, වැඩිදුරටත් දැනුවත් කිරීම් කරමින් මාව හරි මාර්ගයට ගත්තු උදවියට , මාව follow කරන අයට වගේම කමෙන්ට්ස් නොදා වුනත් කියවලා දැනුම ලබාගන්න හැමෝටමත් මගේ හදපිරි ස්තුතිය පුදකරනවා. ඉතින් දිගටම මේ ලිපි පෙලත් එක්ක ඉන්න. එක පෝස්ට් එකක් ලියන්න කලින් කීපාරක් මම ඒ පෝස්ට් එකට කරැණු එකතු කරනවද කියලා මමයි දන්නේ.  ඇත්තටම මට එක දිගටම තනි පෝස්ට් එකක් ලියන්න වෙන්නේ නැති තරම්. ඔයාලගේ කමෙන්ට්ස්වලට ෆීඩ්බැක් නොදුන්නෙත් මෙච්චර කාලයක් මගෙ ඒ  මට වෙලාව මදිකම නිසයි . ඒ සම්බන්ධව මම සමාව ඉල්ලනවා. මින් ඉදිරියට ඔයාලත් එක්ක මීටත් වඩා ලගින් ඉන්නයි මම හිතාගෙන ඉන්නේ හැකි හැම වෙලාවෙම.  අපේ කට්ටිය දාන කමෙන්ට්ස්වලින් පේනවා තාක්ෂණික දේ කියවන්න කැමති අයත් ඉන්න බව. ඒක හැබෑ සතුටක්. 
             අද මං කියන්න යන්නේ Optical Fibers වලින් මේ වනවිට ලෝකයේ සිදු කර ඇති නව සොයාගැනීම් පිලිබදවයි. මිනිසාගේ කටයුතු පහසු කරගන්න ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යොදාගන්නේ අන්තර්ජාලය ආශ්‍රිත කටයුතුවලදී විතරක් නෙවෙයි කියන එකට හොද උදාහරණ කිහිපයක් තමයි දෙන්නයි යන්නේ.


            ඉහත  රෑපයෙන් දැක්වෙන්නේ FIBER OPTICS LIGHT GLOVE එකක්. සාමාන්‍යෙයන් අපි එදිනෙදා භාවිතා කරන GLOVE එකකට වඩා ගොඩක් වෙනස්. මෙහි ඉතා කුඩා බැටරි පැක් එකකුත් අන්තර්ගතයි. හරියටම නිකම් විදුලි පන්දමක ක්‍රියාකාරීත්වයට ‍සමානයි. නමුත් වැයවෙන විදුලි ප්‍රමාණය ඉතා සීමිතයි. ඉතින් මේ රෑපසටහන බැලුවාම තේරැම් ගන්න පුලුවන් වේවි මෙහි සැකැස්ම පිලිබදව.

  1. Battery pack - මෙම පද්ධතියට අවශ්‍යකරන විදුලිය ලබා දෙන්නේ මෙමගිනි. කුඩා LED කිහිපයක්ද අන්තර්ගතයි.
  2. Optical Fibers - ආලෝකය ගමන් කිරීමට ඔප්ටිකල් කේබල්ස් අතුරා ඇත. 
  3. Light direction - ආලෝකය යා යුතු දිශාව තීරණය කරන්නේ මෙමගිනි.
  4. Quick Access Buttons - ආලෝක ධාරාවේ තීව්‍රතාවය හා දිශාව පාලනය කිරීම සිදු කරයි.
  5. Spot light - ආලෝක ධාරාව එකතු වී පිටතට ලබා දෙන්නේ මෙමගිනි.

           මෙමගින් Fiber optics light ray එකක්,  ඒ කියන්නේ කුඩා එහෙත් ඉතා තියුණු වූ ආලෝක ධාරාවක් එල්ල කරනවා අපේ ඇගිලි තුඩු අගින්. දැන් එයින් අපිට නිදහසේ අත එහි මෙහා කරමින් ඕනෑම වස්තුවක් නිරීක්ෂණය කල හැකියි.  මහපට ඇගිල්ලට එන Quick access buttons හරහා මෙහි ආලෝක ධාරාවේ තීව්‍රතාවය හා දිශාව පාලනය කල හැකියි. මේ උපකරණය ගොඩක්ම වැදගත් වෙන්නේ Dentists, surgeons, enforcement officers වගේ අයටයි. මොකද මේ  gadget එකෙන් ඔවුන්ට නිරීක්ෂණය කලයුතු දේවල් ඕනෑම වෙනස්වු තත්වයක් යටතේ පහසුවෙන් කරගැනීමට ඉදිරියේදී හැකිවේවි.
         තවත් ලිපියකින් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය උපයෝගී කර‍ගත් තවත් නිපැයුමක් ගැන කතා කරමු.    එතෙක් ඔබට ජය...


Wednesday, January 19, 2011

පරිගණක ජාලකරණය පාඩම 4


            අපි  පරිගණක ජාලකරණය පසුගිය පාඩමේදී සාකච්ඡා කලේ  OSI Layers ඇසුරින් පරිගණකයකින් ජාලය තුල පිහිටි තවත් පරිගණකයකට දත්ත යැවීමට සූදානම් කරන ආකාරයත්, එම දත්ත අනෙක් පරිගනකයට යැවෙන ආකාරයත් පිලිබදවයි. මේ  OSI Layers ගැන මතක තියාගන්න පහසු වෙන පොඩි ඉංගිරිසි වැකියක් ඔයාලට දෙන්න හිතුවා. ඒක පහුගිය ලිපියෙන් දෙන්න අමතක වුනානේ මට. "All People  Seem To Need Data Processing" තමයි වැකිය. බලන්න රෑපය දිහා කොතරම් ලස්සනට ගැලපිලා තියෙනවද කියලා ඒක OSI Layers සමගින්. 

පරිගණක ජාලකරණය පාඩම් මාලාව යටතේ අද කතා කරන්න යන්නේ TCP/IP(Transmission Control Protocol / Internet Protocol) යනු කුමක්ද හා එම සංකල්පයේ භාවිතය පිලිබදවයි. TCP/IP යනු අන්තර්ජාලයේදී සන්නිවේදනය සදහා භාවිතා කෙරෙන මූලික භාෂාවයි. එලෙසින්ම මෙය සන්නිවේදනයේ මූලික ආකෘතියක් ලෙසින්  ජාලයකදීත් භාවිතයට ගැනෙනවා. මෙම පාඩමේදී   TCP/IP මිශ්‍රණයක්, ජාලයක් තුලදී දත්ත යැවීමේදී හා ලබාගැනීමේදී ක්රියා කරන එයටම ආවේණිකවූ  specific role එක පිලිබදව කතාබහකරමු.  OSI කියන model එකට ලේයර හතක් තියෙන බවට අපි පහුගිය ලිපියේදී කතා කලා මතක ඇති. එහෙම නැත්නම් ඒ ලිපිය මෙතනින් ගිහින් කියවලම එන එක වැදගත්වේවි අපහසුවකින් තොරව පාඩම කරගෙන යාමට. ඉතින් මේ OSI කියන model එකට  තියෙන ලේයර හතෙන් හයක්ම මේ  TCP/IP යනුවෙන් හදුන්වන සන්නිවේදනයේ නිර්මිතයත් සමග කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ OSI එකේ layers 7ක් තියෙන නමුත්  TCP/IP එකේ තියෙන්නෙ layers 4යි.  සමහර තැනක මේ  TCP/I‍P layers ගණන 5ක් ලෙසත් සදහන් වෙනවා දකින්න පුලුවන්. එයට හේතුව වන්නේ  Network Access layer එක කොටස් දෙකකට බෙදා දැක්වීමයි.   (physical හා data link) එවිට  TCP/IP 4 layer හෝ  5 layer නිර්මිතයක් ලෙස  ව්‍යවහාරයට එනවා. මතක තබා ගතයුතු කරැණ තමයි අවශ්‍ය නම් තමන්ගේ ජාලයේ වෙනසක් කිරීමට අවශ්‍ය අයෙකුට තමන්ගෙ අවශ්‍යතාවයේ හැටියට මෙම Layers සංඛ්‍යාව අඩු වැඩි කිරීම වුවත් කරගැනීමට  පුලුවනි.  මේ පිලිබදව වැඩිමනත් තොරතුරැ අවශ්‍යනම් මෙතැනින් සිංහල විකිපීඩියාවලට ගිහින් බලන්නත් පුලුවනි. ඉතින් දැන් බලමු අපි ඉහතින් සදහන් කල  ඒ ලේයර් හතර මොනවද කියලා.

1 Application
2 Transport
3 Internet
4 Link

  මෙම  TCP/IP layers 4 OSI Layers ඇසුරින් විකාශනය වන ආකාරය මෙම රෑපසටහනින් දැක්වේ.


 මෙය තේරැම් ගැනීම පහසු කරගැනීම සදහා අපි OSI  Layers හා  TCP/IP Model අතර ඇති සමානකම් හා අසමානකම් මොනවාද යන්න දැන් බලමු.


  • මෙම දෙවර්ගයේම භාවිතාවන්නේ එකම ආකාරයේ layered architecture එකකි. 
  •  OSI  Layers හා  TCP/IP Model layers වලින් කෙරෙන performe එකත් එක සමානයි.ෙ
  •  OSI model එකේ layers 7ක් ඇති අතර, TCP/IP නිර්මිතයේ තිබෙන්නේ layers 4ක් පමණයි. 
  •  OSI model එකක් ගත් විට  නිශ්චිත වශයෙන්ම මේ යැයි නම් කල services සහ protocols යනාදිය ගැබිවී ඇත. නමුත් TCP/IP නිර්මිතයේදී එය එසේ නොවේ.

අපි දැන් බලමු දත්ත පැකට්ටුවක් පරිගණක දෙකක් අතර ගමන් කරන්නේ කෙසේද කියා.  එයට පහත රෑප සටහන උපයෝගීකරගන්න.

           OSI model එකක් ගත් විට දත්ත පැකට් එකක් මොන මට්ටමේ ඇති  layer එකක සිට යැව්වත් එය ගමන් කරන්නේ යට ඇති stages වලටයි. අවසානයේදී  physical layer එක හරහා communication media එකට එනම් දත්ත ගෙනයන මාධ්‍යට ලගාවෙයි.මෙසේ  Communication media එක හරහා ගමන් කල යුතු දුර ගමන් කර අවසන් වූ කල්හි  නැවතත් පෙර පරිදිම physical layer එකේ සිට උඩට ඇති stages වලට ලගාවී අවසනදී දත්ත පැකටය  එක එවන ලද layer එකට සමාන layer එකට ගොස් දත්තය අනෙක් පරිගණකයෙන් පෙන්වනු ලබනවා. මෙය ඉතා ක්ෂණිකව සිදුවන ක්රියාවලියක් වන අතර තනි ලේයර් දෙකක් අතර දත්ත හුවමාරැවනවා වැනි අදහසක් ලබා දෙයි. නමුත් මෙම process වන ක්රියාවලිය ලේයර් ගණනාවකින් යුක්තව සිදුවන සංකීර්ණ එකකි. ඒවගේම Layer එ‍කෙන් Layer එකට ඩේටා දැකිය හැකි ආකාරයත් විවිධ වූ ස්වරෑප ගන්නවා. මම ඒ ගැන කලින් ලිපියේදී විස්තර කලා මතක ඇති. උදාහරණයක් විදිහට දත්ත පැකටයක් බවට පත්වන ආකාරය දකින්න පුලුවන් Network layer එකේදීයි. 

      අද ලීවේ ටිකයි.  මාත් එක්ක දිගටම රැදිල ඉන්න අය තරහ ගන්න එපා.  මොකද මම ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ මේ දවස්වල. බෝවෙන උණක් හැදිලා. ගොඩදවසකින් මුකුත් ලීවේ නැති නිසයි ලියන්න හිතුණේ. ඉතින් එහෙනම් මීලග ලිපියෙන් අපි TCP/IP Protocol හරහා IP Packets ගමන් කරන ආකාරය විමසා බලමු.

Saturday, January 15, 2011

Kaspersky Rescue Disk 10


        අදනම් හැබැයි දෙන්න යන්නේ වටින කියන software එකක්. මට ගොඩක් ප්රයෝජනවත් වුන එකක් මේක. අපි අපේ පරිගණකයට වෛරස් ඇටෑක් කරාම කරන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ මොකද මම කලින් ලිපියක මේ ගැන සංකීර්ණව සාකච්ඡා කරලතියෙන නිසා. අවශ්‍ය කෙනෙකුට ඒ ලිපියට මෙතනින් යන්න පුලුවන්.Kaspersky virus removal tool එකක් භාවිතා කරගෙන කොහොමද පරිගණකයේ වෛරස ඉවත් කරගන්නේ කියන එක එහිදී මම කතා කලා. Kaspersky කියන්නේ බොහොම විශ්වාසයෙන් යුතුව විශ්වාසය තැබිය හැකි brand එකක්. ඒත් ඉතින් මට නම්  brand එකෙන් වැඩක් නෑ process එක තමා වටින්නේ. අද කියන්නෙත් ඔවුන්ගේ තවත් එක් නිෂ්පාදනයක් වන Kaspersky Rescue Disk පිලිබදවයි.  Kaspersky Rescue Disk 10 version එක තමයි මෙහි අලුත්ම එක. මෙහි වාසි කිහිපයක් තියෙනවා.


  1. පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය කිසිම ආකාරයකින් load නොවේනම් එහි සහයක් නැතිව වෙනමම ක්රියාත්මක වී virus infected පරිගණකයක වෛරස ඉවත් කිරීමේ හැකියාව.(When it is impossible to boot the operating system)
  2. Bootable ISO image එකක් ලෙසට CD එකකට burn කරගැනීමේ හැකියාව. 
  3. අවශ්‍යනම් removable USB device එකකට වුවත් ස්ථාපනය කරගැනීමේ හැකියාව.
  4. පරිගණකයට install කිරීමක් අවශ්‍ය නොවීම.

මෙතනින්  Kaspersky Rescue Disk 10  එක ISO image එකක් ලෙස Kaspersky Lab servers ඔස්සේ ඩවුන්ලෝඩ් කරගන්න. මෙහි ධාරිතාවය 200MB පමණ වේ. එසේත් නැත්නම් Kaspersky Anti-Virus 2011 ඔබේ පරිගණකයේ පිහිටුවා තිබේනම් එහි application interface එක හරහා වුවත්‍ ඔබට මේ  Kaspersky Rescue Disk 10 නිර්මාණය කරගත හැකියි. මෙසේ ඩවුන්ලෝඩ් කරගත්  Kaspersky Rescue Disk 10 ISO image එක CD Burning Wizard එකක් ඔස්සේ CD තැටියකට පිටපත් කරගන්න. දැන් ඔබට වෛරස ඉවත් කිරීමට අවශ්‍ය  virus infected පරිගණකය Restart කර එහි BIOS Settings වල Boot record එක CD ලෙස තෝරා දෙන්න. මෙහිදී පියවර කිහිපයනික් පසු bootable cd එක හරහා පරිගණකය boot වෙනු ඇත. ඔබ මේ සදහා  removable USB device එකක් භාවිතා කරනවානම් පහත පියවරයන්අනුගමනය කරන්න.


1 පලමුව  Kaspersky Rescue Disk 10  ISO image එක ඩවුන්ලෝඩ් කරගන්න. (200 MB)
2 දැන් ඔබගේ පෙන් එක bootable කිරීමට අවශ්‍ය වන මෘදුකාංගය මෙතනින් ලබාගන්න. (378 KB)(Utility to record Kaspersky Rescue Disk 10 to USB devices)
3 දැන් rescue2usb.exe එක රන් කරන්න.






4 පසුව open වන Kaspersky USB Rescue Disk Maker වින්ඩෝවෙන්    ඩවුන්ලෝඩ් කරගත්  Kaspersky Rescue Disk 10 ISO image එක Browse කර තෝරා දෙන්න.







5 මීලගට ඔබට එය ස්ථාපනය කිරීමට අවශ්‍ය USB device එක තෝරාදෙන්න. මෙහිදී එම USB device එකේ දත්ත ඇත්නම් ඒවා බැක්අප් කර pen එක empty කර ගැනීම නුවණට හුරැයි. 












6 STARTයන්න Click කරන්න.


7 Process එක අවසන් වු පසු "Kaspersky USB Rescue Disk has been successfully created" 
යනුවෙන් ලැබෙන message එක Ok කරන්න.





8 පෙර පරිදිම  පරිගණකයේ BIOS Settings වල Boot record එක USB ලෙස තෝරා දෙන්න.
දැන් USB device එක හරහා පරිගණකය boot වනු ඇති.







9 මෙහිදී key එකක් press කරන්න.







10 භාෂාව තෝරන්න.











11   Kaspersky Rescue Disk. Graphic Mode තෝරන්න.








     මෙවැනි Rescue Disks කලින් කලට යාවත්කාලීන කරන බැවින් CD තැටියකට පිටපත් කරගැනීමට වඩා USB device එකකට record කරගැනීමට හැකියාව ඇත්නම් එය වඩාත් සුදුසු බව මගේ අදහසයි. ඔබත් මෙය භාවිතා කර අදහස් ඉදිරිපත් කරන්න. 

                                                 

Thursday, January 13, 2011

ඔබ තනි වී නෑ... - Shayne Ward


     වෙනදා ආදරයට සම්බන්ධ  ගීතම දෙන මම අද දෙන්නේ ඊට ටිකක් වෙනස් ආකාරයක් ගත් ගීතයක්, වෙනස් අර්ථයක් රැගත් ගීතයක්. මේ සින්දුවත් පට්ට එකක්. කාගෙවත් නෙවෙයි, Shayne Ward කියන  English pop singerගේ  Obsession 2010 නමින් ඊයේ පෙරේදා නිකුත් වුන ඇල්බමයේ එන ගීතයක්.  "Human" තමයි ගීතයේ නම. මනුෂ්‍යත්වය කොච්චර වටිනවද කියලයි කියන්නේ. මම මීට කලිනුත් මොහුගේ ලස්සන ගීතයක් බ්ලොගයේ පලකරලා තිබුණා. ඒක අහපු කටිටය නම් සින්දුව ගැන වගේම ගායකයා ගැනත් දන්නවා ඇති. ඒත්  ඉතින් ගායකයා ගැන වැඩිදුර හැදින්වීමක් අවශ්‍ය නම් ඒකට මෙතනින්  යන්න පුලුවන්. මොහුගේ Obsession 2010 ඇල්බමයේ එන Waiting In The Wings, Close To Close ගීතත් මම ඊයේ පෙරේදා අහපු ලස්සන ගීත දෙකක්. "Human"  ගීතයෙන් කියන්නේ ඔබේ දුක් දොම්නස් මට කියන්න.  ගැටලු, කරදර හමුවේ හීන වී යන මනුෂ්‍යත්වය රැකගනිමු අපි කියලයි.

"When your heart is hurting
When nothing is working
Let me through the door
Cause I've been there before
When your world is shaking
And your energy is fading
Just let me through the door
Cause I've been there before
You are not alone ooh ooh
You are not alone ooh ooh
We're just human
ඔබේ හිත රිදෙනවිටක, 
කරන කිසිම දෙයක් හරියන්නේ නැතිවිටක,
ඔබේ ලෝකය කම්පාවට පත්වෙනවිට
ශක්තිය හීන වී යන විට
මට ඔබ වෙත එන්න ඉඩ දෙන්න
මන්ද මීට පෙරත් මම ඔබ අසලින් හිටි නිසා"

"We are all, all the same
We are human human human human
Different faces, different names
We are human human human human
We can never be replaced
We are human human human human
We are all, all the same
අපි හැමෝම සමානයි මිනිස්සු වශයෙන්
විවිධත්වය තියෙන්නේ මුහුණෙයි, නම් වලයි විතරයි
අපිට තනිවෙන්න අවශ්‍යතාවයක් නෑ
මොකද අපි හැමෝම මිනිස්සු නිසා"


මෙන්න ලනුව.



Saturday, January 8, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 7

‍‍    
              

        ෆයිබර් ඔප්ටික් ලිපි මාලාවේ හත්වැනි ලිපියයි අද ඉදිරිපත් කරන්නේ. එසේම ෆයිබර් ටු ද හෝම් (FTTH)ලිපිපෙලේ දෙවැන්නයි . අලුත් තාක්ෂණයක් ගැන ඔයාලට කියලා දෙන එක තමයි මගේ අරමුණ වෙන්නේ. ඒ හින්දා දන්න දේ නොපැකිල කියා දෙනවා. ඒත් මට වෙලාවකට හිතෙනවා අපේ කට්ටිය මේ ගැන ඉන්ටරෙස්ට් නැද්ද කියලත්. නැත්නම් තේරෙන්නේ නැති කමක් වගේවත්ද? හැබැයි මම දන්න තරමින් හොදට  තමයි මේ පැහැදිලි කරන්නේ. කමක් නෑ ඉතින් දැනුම් පිපාසයෙන් පෙලෙන්නවුන් ඉන්නවා නම් බලා දැනුම ලබා ගනිත්වා. නේද?  ඒ කොයි හැටි වෙතත් පහුගිය ලිපියෙන් FTTH යනු කුමක්ද යන්න පිලිබදව අපි කතා  කලා මතක ඇති. මෙතනින් පහුගිය ලිපියට යන්නත් පුලුවන්. අද බලමු මේ තාක්ෂණයේ වාසි අවාසි හා ශක්‍යතාවයන් පිලිබදව. ලෝකය පුරා නිවෙස් මිලියන දහයකටත් වඩා මේ තාක්ෂණයෙන් පල ලබා ගන්නවා.දැන් දැන් මැද පෙරදිගටත් මේ තාක්ෂණයේ සෙවනැල්ල වැටෙමින් තිබෙන බව මගේ මිතුරෙක් පැවසුවා. දැනට ඇති අනෙකුත් තාක්ෂණයන්ට සාපේක්ෂව ‍මෙවැනි Fiber based system එකක තියෙන වාසි වැඩි නිසා  අපේ රටටත් මේ තාක්ෂනයේ පල ලගදීම ලැබෙනු ඇති. ඉතින් අපි බලමු මෙම තාක්ෂණයෙන් ගත හැකි Capabilities මොනවාද කියලා මුලින්ම.

1 වේගවත් සබදතාවයක් නිර්මාණය කිරීම - FTTH තාක්ෂණය වේගය පිලිබදව විශ්වාසය තැබිය හැකි තාකෂණයක්. මෙහි Data carrying capacity එක එනම් එකවිටකදී දත්ත ගෙනයාමට ඇති හැකියාව twisted pair conductors හෝ DSL හෝ coaxial cable වලට වඩා බොහොම ඉහල අගයකයි තියෙන්නේ. උදාහරණයක් විදිහට copper pair conductor එකක ගෙනියන්න පුලුවන් දුරකතන ඇමතුම් 6ක් පමණයි. නමුත් single fiber pair එකක දුරකතන ඇමතුම් මිලියන 2.5 කටත් වඩා ගෙනියන්න පුලුවන්. [source: Federal Communications Commission] ඉතින් මේ තාක්ෂණයෙන් කරන්න පුලුවන් දේවල් මේච්චරයි කියලා ලිමිට් කරන්න බෑ නේද.

2 ඉදිරි දශකයේදී ඇතිවන අන්තර්ජාල ඉල්ලුමට ඔරොත්තු දීමේ හැකියාව - FTTH කවුන්සිලය කියන ආකාරයට අඩු වියදමකින් හා විශ්වාසයෙන් යුතුව අනුමත කල හැකි තාක්ෂණයක් විදිහට මේ තාක්ෂණයේ පිහිට තමා තියෙන්නේ ඉදිරි දශකයේ ඇතිවන යෝජිත bandwidth ඉල්ලුම සපුරාගන්න නම්. මොකද මේ තාක්ෂණය පාරිභෝගික ඉල්ලුම මත ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාර ආදියටත් යොදාගත හැකියැයි FTTH කවුන්සිලය  කියනවා. දැනටමත් ව්‍යාපාර දහස් ගණනක් තමන්ගේ ලෝක ව්‍යාප්ත කටයුතු මේ තාක්ෂණය ඔස්සේ මෙහෙයවනවා.



3 පහසුවෙන් උසස් කල හැකිවීම හා අඩු වියදම - මෙවැනි Fiber based system එකක් පහසුවෙන්ම enhance කල හැකි අතරම දැනට පවතින අනෙකුත් technologies හා සමාන වියදමකින් හෝ සමහරවිට ඊටත් අඩු වියදමකින් establish කල හැක. FTTH Council එක කියන ආකාරයට පසුගිය දශකයේදී cable companies විසින් wire based system වලට කල වියදම හා සැලකීමේදී මේ තාක්ෂණයට අවතීර්ණවෙන එක ඩොලර් දහස් ගණනක් ඉතිරි කරනු ඇති.


4 දියුණුවන තාක්ෂණයක් මිස පහසුවෙන් නිමානොවෙන තාක්ෂණයක් වීම - මෙම FTTH එකක් තමන්ටම සුවිශේෂී වූ ආකාරයකට අන්තර්ජාල අවකාශය හසුරැවන බැවින් එහි ගුණාංග තවදුරටත් ඉහල දැමිය හැකි එයටම විශේෂිත වූ යම් උපකරණයක් ද අනාගතයේදී නිපදවිය හැක. එවැනි equipment එකකින් තත්පරයට ගිගාබයිට් 25ක් හෝ 30කට ආසන්න වේගයක් ලබා ගත හැකියැයි FTTH කවුන්සිලය පවසනවා. උදාහරණයක් ලෙසට  රෑපවාහි‍නී විකාශයක් 3D ආකාරයට එනම් තාත්විත රෑප රාමු සජීවි බවකින් නැරඹීමේ හැකියාව ලැබා ගන්නත් පුලුවන් වේවි. එමෙන්ම නිවෙස්තුල සෑම උපාංගයක්ම අපිට දුර සිට අපි සිටිනා තැනක ඉදන් Remotey control කිරීමේ හැකියාව උදාවනු ඇති. ඉතින් දැනට භාවිතාවන wire based තාක්ෂණයන්ට එවැනි තාක්ෂණයක් අසලටවත් පැමිණිමට නොහැකියි.

5 අලුත් අදහස් අනුව නව නිර්මාණ ව්‍යාපාරික ලෝකයට ඇතුල්වීම - හිතන්න අපි විදුලිය හොයාගනිද්දී නිවෙස් එලිය කිරීමට එහාගිය අවශ්‍යතාවයන් සපුරාගැනීමක් පිලිබදව ඒ අවදියේදී හිතන්න ඇත්ද. නෑ නේද. ඒත් දැන් විදුලිය අපේ entire life එකේ සෑම දෙයකටම අත්‍යාවශ්‍යයි. ඒ ඇසුරින් නිමැවුනු නිර්මාණ බොහෝයි. රැකියා ප්රමාණය අතිවිශාලයි. ඒ වගේ මේ Fiber based system එකක්පිලිබදවත් දැනට අන්තර්ජාලය සම්බන්ධ කරගෙනම හිතන්නේ නැතිව අවුටු ඔෆ් බොක්ස් හිතුවොත් බිහිවෙන්න තියෙන නව නිර්මාණ මෙතෙකැයි කියන්න බෑ.

6 එකවිටකදී සේවාවන් ගණනාවක් සදහා දොරටු විවර වීම - FTTH broadband connection එකකදී consumer හට communications services සියල්ලම "bundle" එකක් විදිහට ලබා ගත හැකියි. එනම් telephone, video, audio, television යන සේවාවන්ට අමතරව අනෙකුත් digital data streaming සේවාවන්ද මේ simple FTTH broadband connection එකක් හරහා ලබාගන්න පුලුවන්. උදාහරණයක් විදිහට පරණ “cable TV” කනෙක්ෂන් එක වෙනුවට higher streaming cable TV සබදතාවයක් ලබාගත හැකියි.

                     මෙපමණ වෙලා අපි කතා කලේ FTTH broadband connection එකකදී අපිට ලබා ගත හැකි ශක්‍යතාවයන් මොනවාද යන්නයි.ඉතින් ඉහත දැක්වූයේ එවැනි කිහිපයක් පමණයි. තවත් තිබෙනවා. දැන් අපි බලමු wire based system එකක් හා  Fiber based system එකක් කම්පෙයාර් කිරීමේදී Fiber based system එකකින් ලැබිය හැකි වාසි මොනවද කියලා.

1 Better quality voice services - ඉහල ගුණාත්මයෙන් යුත් ඇමතුම් ලබා ගත හැකි වීම.


2 Higher quantity and quality video services  - copper network එකක් හරහා පැමිණෙන video එකකට වඩා අන්කර්ගතය හොද හා ගුණාත්මය වැඩි video services එකක් ලබා ගැනීමේ හැකියාව.




3 Home Video Access to Association Meetings - Local Area Network එකක් තුලදී ඉහල අගයකින් යුත්  Video conferencing සේවාවක් ලබා ගැනීමේ හැකියාව. මෙයට Home Video Security system එකක්ද අයත් වේ.CCTV කැමරා පද්ධතියක් දියුණු තලයකට උසස් කොට ගෙන ඒමට මෙමගින් හැකිය.



4 Interactive virtual “office visits” - දුර සිට තමන්ගේ කාර්යාල කටයුතු සෝදිසි කර සොයා බලා ඉටු කිරීම.


5 virtual classroom - මෙයට Virtual parent/teacher conferences, classes in local universities  ආදිය අදාල වේ. දුර සිටින guest lecturer කෙනෙක්ට තමන්ගේ මෙහෙයුම් සිටින තැන සිටම ඉටු කොට ගත හැක.



6 Work-at-Home - FTTH එක තුලින් නිවෙස තමන්ගේ රාජකාරිමය ස්ථානය බවට අනාගතයේදී පත්වනු ඇති බවට අනාවැකි පල වී තිබෙනවා.


7 On-line Game Playing - ඉහල ගුණාත්මයෙන් යුතු තාත්වික පරිගණක ක්රීඩා තමන්ගේ පරිගණකයට බාගත නොකොට සයිබර් අවකාශය තුලදීම play කල හැකි වීම. එම පරිගණක ක්රීඩා වල රෑප digital data higher streaming යටතේ Delay වීමකින් තොරව ප්ලේ වනු ඇති.

8  Sharing Personal Pictures / Videos - high-quality digital pictures සහ  videos සයිබර් සපේස් එන තුලදී තමන්ගේ පරිගණකයේ ඇති එක් පාටිෂන් එකකින් තවත්  පාටිෂන් එකකට කොපි කරනවා වැනි වේගයකින් Sharing පහසුකම ලබා ගැනීමට හැකිවීම.

9 Video Surveillance - Swimming pool monitoring, Peace of mind when only one person is at home (උදා- Nanny-cam / babysitter-cam) ආදින් යටතේ වීඩියෝ කැම් එකක් අධාරයෙන් පරීක්ෂා කිරීම් ඉටු කොට ගතහැකි වීම.
10 Web-connected video players - Internet video shift from PC’s to living room TVs සහ එම වීඩියෝ Apple TV, iPOD, X-BOX තුලට ලබා ගැනීම.


11 Internet video distribution - උදාහරණයක් ලෙසට Olympic coverage එකකදී අති විශාල කවරේජ් එකක් පහසුවෙන් maintain කිරීමේ හැකියාව දැක්විය හැක. තමන්ගේ වටපිටාවක හෝ කාර්යාලයක සිදුවන යම් කිසි event එකක් මේ ආකාරයට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ Live streaming කල හැක.




ඉතින් තවත් නොකී වාසීන් ‍මෙවැනි සබදතාවයකින් නිවසකට ලබාගන්න පුලුවන්. මෙය හදුන්වන්න පුලුවන්  හොදම විදිහ තමයි potential bandwidth එකක් ලබාගත හැකි enhance කල හැකි virtually unlimited සබදතාවයක් විදිහට.  තවත් ලිපියකින් මුණ ගැහෙන තුරැ සැමට ජය...

Tuesday, January 4, 2011

පාටිෂන් එකක මැකී ගිය දත්ත ආපසු ලබාගන්න හැටි


               
                  අදත් පෝස්ට් එකක් දාන්නයි හිතුවේ. කට්ටිය බලනවා ඇති මූට මෙච්චර Free time එකක් කොහෙන්ද මෙහෙම හැමදාම ලියන්න, ජොබ් එකක් කරන්නෙ නැති ගෙදර ඉන්න කම්මැලියෙක්ද කොහෙද මූ කියලා. මොකක් හරි පොඩි ජොබ් කට්ටක් හොයන අතරෙ තමයි ඉතින් මාත්  මේ ලියන්නේ. හික්ස්...මාතෘකාවට බහිමුකෝ එහෙනම්.
                     පරිගණකයක පා‍ටිෂන් එකක තියෙන දත්ත නොයෙක් හේතූන් මත මැකී යන්න ඉඩ තියෙනවා. ඉතින් වැදගත් දත්ත තියෙන පාටිෂන් එකක් මොකක් හෝ හේතුවක් නිසා මැකිලා ගියොත් අපි ගොඩක් ලොකු අපහසුතාවයකට පත්වෙනවා. මේ ආකාරයට දත්ත මැකී යාමට බලපාන හේතු අතර පරිගණක වෛරස මුල් තැනක් ගන්නවා. ඊට අමතරව අපි පරිගණකවල නොයෙක් ආකාරයේ experiment කරන්න ගියාමත්, ඒ කියන්නේ අපේ මොලේ ඇති වැඩ නිසාත් මේක සිද්ධවෙන්න පුලුවන්. අනික් කාරණය තමයි එවැනි වැදගත් දත්ත තියෙන hard drive එකක් හිටි අඩියේම වැඩනොකරන තත්වයට පත්වුනාමත් මෙහෙම වෙනවා. Hard drive එක හිටි අඩියේම වැඩනොකරන තත්වයට පත්වුනාම නම් පොඩි කෙමක් තියෙනවා කරන්න. හැබැයි ඉතින් ලොකු ඩැමේජ් එකක් වෙලා නම්, phisical damage එකක් නම්, හාඩ් එක බිම වැටිලා වගේ නම් මේ කෙමෙන් වැඩක් නැතිවෙයි මං හිතන්නේ. කෝකටත් sectors සහ clusters ඩැමේජ් එකක් වගේ කියලා හිතෙනවා නම් කරන්න තියෙන්නේ Hard drive එක  ජලය වාෂ්ප නොවන ආකාරයට පොලිතීන් ඇසුරැමක දමා ශීතකරණයේ පැය කිහිපයක් තැබීමයි. මේ ක්රමයෙන් මමත් සාර්ථක පල ලබාගෙන තියෙනවා. අනික් විදිහ තමයි Low level format එකක් දෙන එක. මේ ක්රමයෙදි නම් ඉතින් දත්ත ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. ඒ ගැන මම මෙන්න මෙතනින්  කියලා තියෙනවා.
          එත් කොයි ආකාරයෙන් හරි දත්ත මැකී ගියහමනම්  අපි කවුරැත් අසරණ තත්වයට පත්වෙනවා. ඒ වගේ වෙලාවට අපේ පිහිටට එන්නේ data recovery software එකක් තමා. ඔයාලා මේ වගේ දෙයක් කරන්න යන්නේ පලමු වතාවට නම්, මේක අත්හදාබලන්න කියලා වැදගත් පාටිෂන් එකක දත්ත මකලා ඒක රිකවරි කරන්නනම් යන්න එපා. මොකද අන්තිමේට ඔයාලා වැඩේ නාගත්තොත් අපේ ගෙදර උදවියට තමයි බැනුම් අහන්න වෙන්නේ. නේද? දත්ත මැකුණු පාටිෂන් එකක් තියෙනවා නම් වැඩේ කරගෙන යන්න පුලුවන්. එහෙම නැත්නම් ඉතින් මේ විදිහට කරන්න.


  1. 100MB විතර ධාරිතාවයක් තියෙන පාටිෂන් එකක් හදාගන්න ටෙස්ටින් සදහා. Test නමින් එය rename කරගන්න. වෙනම පොඩි හාඩ් එකක් භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
  2. මේ කුඩා පාටිෂන් එකට යූස්ලස් ඩේටා ටිකක් දමන්න.
  3. පරිගණකයේ වෙනත් පාටිෂන් එකක New Folder එකක් හදන්න Test_recovered_data යන නමින්.මෙහි Recover වන දත්ත තැන්පත් වීමට free space එකක් තියෙන්නත් ඕන.
  4. මේ data recovery software එක download කරගෙන  පරිගණකයට install කරගන්න. මම ‍මේ වගේ වැඩවලදී භාවිතා කරන්නේ EASEUS කියන Data Recovery Tool එක. 
  5. දැන් අර හදාගත්ත Test පා‍ටිෂන් එක Format කරන්න. මෙය My computer ගිහින් වගේම Disk Management ටූලය හරහාත් කරන්න පුලුවන්.





6 දැන් Data Recovery Tool එක open කරගෙන Partition Recovery යන්න තෝරා Next කරන්න.












7 ඔබට Data Recovery කරන්න අවශ්‍ය device එක තෝරා Next කරන්න. 









8 මේ පියවරේදී delete කල හා  format කල  partitions සෙවීම ආරම්භ කරනවා. Search කිරීමට ඉඩ දෙන්න.









9 මෙහිදී delete කල හා  format කල  partitions සියල්ල පෙන්වනවා. Recover කිරීමට අවශ්‍ය එක තෝරා Next කරන්න. Recover කිරීම ආරම්භ කරනු ඇති. 











10 මෙම පියවරේදී මැකී ගිය දත්ත පෙන්වනවා. Recover කිරීමට අවශ්‍ය ෆයිල්ස් හෝ ෆෝල්ඩර්ස් මත ටික් කර Next කරන්න.








11 මීලගට Recover වන දත්ත තැන්පත් කල යුතු ස්ථානය අහනවා. ඔබ පෙර පියවරක Test_recovered_data යන නමින් හදාගත් ෆෝල්ඩරය source folder එක විදිහට තෝරාදෙන්න.ඔබගේ රිකවර් කිරීමට යන දත්තවල ධාරිතාවය මත  Recover වීමට යන වෙලාව තීරණය වනු ඇති. 











12 Recover වීම අවසන් වූ පසු එම ෆෝල්ඩරය වෙතට යන්න.














13 දැන් 1NTFS යන ෆෝල්ඩරය විවෘත කරගන්න.











15 මෙහිදී ඔබේ මැකීගිය දත්ත සියල්ලම දැකගත හැකි වේවි. 








   හැබැයි ගොයියෝ අවදානම ඔබ සතුයි. මොකද පොඩි මිස් එකක් වුනොත්  නැතිවුන ඩේටා ‍නෙමෙයි තියෙන ඒවත් නැතිවෙන්නත් පුලුවන්. එහෙම වුනොත් මාවයි මගේ පවුලවයි නම් අල්ලගන්න එපා. මං කරන්නේ කියලා දෙන එක විතරයි. ඒත් ඉතින් උදව් ඕනනම් අහන්න කිසිම කේස් එකක් නෑ. හරියට කලොත් වරදින්නෙත් නෑ කීයටවත්. Unsure වගේ නම් කරන්න යන්න එපා. දන්න කෙනෙක් ලවා කරවාගන්න කියලා අවසානවතාවටත් මං රෙකමන්ඩ් කරනවා. 

Monday, January 3, 2011

සදාකාලිකයි ආදරේ...Westlife

              

                    
                             අලුත් වර්ෂයේදී මම මගේ බ්ලොගය හරහා දෙන පලමු ගීතයයි මේ. බොහොම සංවේදී ගීත ගායනා කරන Westlife බෑන්ඩ් එකේ ගීතයක් මේකත්. මැක්සා සින්දුව. මම මීට පෙරත්  ‍Westlife බෑන්ඩ් එකේ  "My Love", "Closer" වගේ ගීත බ්ලොගයේ පලකරලා තියෙනවා. කැමතිනම් මෙන්න ලින්ක් එකක්. මේ ගීතය මම මුලින්ම ඇහුවේ ගොඩක් කාලෙකට කලින් වුනත් තාමත් මේ ගීතය විදින්න ඒ පැරණි බව බාධාවක් වෙලා නෑ. ගීතයේ නම "Forever". ඒ කියන්නේ සදහටම ලගින් ඉන්න කියලයි. මුලු බෑන්ඩ් එකම වොයිස් කරනවා මේ ගීතයට.  ඔෆීෂියල් ඇල්බමයක ආපු ගීතයක් විදිහට නෙමෙයි මේ ගීතය ජනප්රිය වුනේ. Single එකක් විදිහටයි.  මෙම ගීතය අඩංගුවෙන්නේ  "1999-2003 - Complete Works" නමින් නිකුත් වූ   ඔවුන්ගේ Single Series එකක. ඊට අමතරව 1999 දීම නිකුත් වූ - Swear It Again (CDS-1) ඇල්බමයේත්  Single එකක් විදිහට මෙය ඇතුලත් වෙනවා. ඒ ඇල්බමයට  Swear It Again ගීතයක් ඇතුලත් වෙනවා. ආ..Swear It Again ගීතයක් පට්ටමයි. මැක්සා සින්දුවක්. ඒකත් අහලා බලන්න. Swear It Again ගීතයේ Rokstone Mix එක සෑහෙන්න හොදයි. මේ "Forever" ගීතය තනි ඇල්බමයක නිකුත් නොවුන ගීතයක් නිසා මේ ගීතය අහන්න නොලැබුන අයත් ඇති. මගේ හදවතේ ගැමුරැන්මයි මම ඔයාට ආදරය කරන්නේ, ඒ ආදරේ සදාකාලිකයි   කියලා මේ ගීතයෙන් ගොඩක් සංවේදීව කියනවා.

"I'll be loving you forever,
Deep inside my heart you'll leave me never
මගේ ආදරේ සදාකාලිකයි  
ඔයා මාව කවදාවත් හැර නොයාවි
මොකද මේ ආදරය හදවත පතුලින්ම පැනනැගුණු ආදරයක්"

"You are the sun,
You are my light,
And you're the last thing on my mind,
Before I go to sleep at night,
You're always round,
When I'm in need,
When trouble's on my mind,
You put my soul at ease
මගේ ජීවිතයට හිරැ හා එලිය ඔබයි
නින්දට පෙර සිහියට එනනේත් ඔබයි
මා වටා ඔබ හැමවිටම ඉන්නවා
මම කරදරයක වැටුන විට 
මට අවශ්‍ය වූ විට ඔබ මගේ ආත්මය සුවපත් කරනවා
ඒ නිසා මගේ ආදරේ සදාකාලිකයි "

"There is no one in this world,
Who can love me like you do,
That is the reason that I,
Wanna spend forever with you,
ඔබ මට ආදරය කරනවා වගේ මට ආදරය කරන්න
මේ ලෝකේ කවුරැත් නෑ 
ඒයයි කරැණ 
මට ඔබත් එක්ක සදහටම ඉන්න ඕන"

මෙතනින් බාගන්න.
මේ සින්දුවේ Lyrics මෙතනින්  බලා ගන්න පුලුවන්. 
සින්දුව නම් පට්ටමයි. මැක්සිමම්. 


Sunday, January 2, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 6




                මං හිතන්නේ කට්ටියම නව වසර සතුටින් ගෙවනවා ඇති. සතුට කියන එකත් ඉතින් relative නේ. දුක සතුට ජය පරාජය යන දෙකම විදදරාගන්න පුරැදුවෙන්න ඕන අපි. වෙනස් වෙන සුලුයි. සාපේක්ෂයි. ඉතින් ටිකක් නිවාඩු පාඩුව  ඉන්න අතරේ මම තවත් ලිපියක් ලියන්න හිතුවා, ෆයිබර් ඔප්ටික් තාක්ෂණය හා සම්බන්ධව. එහෙනම් අටුවා ටීකා නැතුව පටන් ගමු. සන්නිවේදනයේදී සම්ප්‍රදායික වයරයට වඩා  fiber optics වේගවත් වෙන්නේ විද්‍යුතය වෙනුවට  ඒ හරහා ගමන් කරන්නේ light signal එකක් නිසා. මේ හේතුවෙන් දැන් දැන් optics-based systems නිවෙස් ආක්රමණය කිරීමටත් පටන් අරන්.  ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යටකේ මම ඉදිරිපත් කරන ලිපි මාලාවේ තවත් පියවරක්  අද ඉදිරියට යන්නයි හදන්නේ. එහෙනම් අපි  broadband network architecture එකක් තුලදී  ෆයිබර් ඔප්ටික් තාක්ෂණයේ යෙදවීම් කෙසේදැයි හදුනාගනිමු. අද මාතෘකාව optics-based FTTH කනෙක්ෂන් එකක් යනු කුමක්ද යන්නයි. මෙතෙක් පල කල ලිපි මාලාවෙන් Optical Fibers යනුවෙන් හදුන්වන්නේ  කුමක්ද,  ඒවා අතර වෙනස,   optical fiber වල භාවිතය, Total Internal Reflection යනු කුමක්ද, Fiber-Optic Relay System එකක් යනු කුමක්ද, ෆයිබර් ඔප්ටික් කේබල් එකක තියෙන වාසි අවාසි  හා ආර්ථිකමය ලාබයන් මොනවාද  ආදිය පිලිබදවත් පහුගිය ලිපියෙන්  Optical fibers නිපදවන්නේ කොහොමද කියලත් සැකෙවින් විස්තර කලා.  කලා. ඉතින් මේ සම්බන්ධව අවබෝධයක් නැති කෙනෙකු ලිපි පෙල මුල ඉදන් කියවලම එනවනම් හොදයි මං හිතන්නේ. අද කතා කරන්න යන්නේ fibers වල භාවිතය ගෙදරදොරේදී සිදුවෙන්නේ කොහොමද කියන එක පිලිබදවයි. එය FTTH (Fiber-to-the-home) ලෙස හදුන්වනු ලබනවා. මෙහිදී මෙයටම ෆැමිලියර් වුන තවත් ටෙක්නලජීස් තියෙනවා. 

  1. Fiber-to-the-node (FTTN) - ෆයිබර් කනෙක්ෂන් එක  යූසර් වෙත නොඇවිත් street cabinet එකකින් නිවසට කිලෝමීටර් ගණනක් මෙහායින් මාර්ගයේ තැනක නතර වී ඉන් එහා දුර (නිවස දක්වා) copper වයර් එකකින් සම්බන්ධ කරයි. 
  2. Fiber-to-the-cabinet(FTTC) - ෆයිබර් කනෙක්ෂන් එක  යූසර් වෙත නොඇවිත් street cabinet එකකින් නිවසට මීටර් කිහිපයක් මෙහායින් මාර්ගයේ තැනක නතර වී ඉන් එහා දුර (නිවස දක්වා) copper වයර් එකකින් සම්බන්ධ කරයි. FTTN වලට සමාන ආකාරයකි.
  3. Fiber-to-the-Building (FTTB) - ෆයිබර් කනෙක්ෂන් එක නිවාස සංකීර්ණයකට ලබා දීම මෙමගින් සිදු කරයි. 
  4. Fiber-to-the-Premises (FTTP) -  FTTH තාක්ෂණයට සමාන ආකාරයකි. නිවෙස් සදහා භාවිතා කරයි.  

        
                              මේ සියල්ලම FTTH වලටම similar වූ  තාක්ෂණයන්.ඉතින් අනෙක් ටෙක්නලජීස් FTTH වලට වඩා වෙනස් වෙන්නේ ඉතා පොඩි වෙනසකින් නිසා අපි  FTTH ගැන කතා කරමු. 
               පොඩ්ඩක් හිතන්න පහුගිය වසර කිහිපය තුලදී ඔබේ අන්තර්ජාල භාවිතය කොහොමද පරිණාමය වුනේ කියලා. එදා මුල්ම අවදියට වඩා දැන් අවශ්‍යතා වැඩියි නේද?මුලින්ම mail එකක් බල බලා හිටිය ඔබ දැන් ගොඩක් ඇඩ්වාන්ස් වෙලා සින්දු, පින්තූර ඩවුන්ලෝඩ් කරන්න අප්ලෝඩ් කරන්නත් පටන් අරගෙන. ඒ මදිවට ෆිල්ම් උණක් තියෙනවනම් ෆිල්ම්ස් බාන්නත් පුරැදුවෙලා ඇති. ඉතින් අපේ අන්තර්ජාල භාවිත සීමාව අපි හිතනවටත් වඩා ගොඩක් වැඩිවෙලා තියෙනවා. ඒත් ඉතින් වැඩිවෙලා තියෙන්නේ අපේ අවශ්‍යතා මිසක් ඒ කියන්නේ trend of usage මිසක් technology එක increase වෙලා නෑ. මේ සම්බන්ධව විශේෂඤයින් කියන්නේ මේ විදිහට ගියොත් ඉදිරි වසර කිහිපය තුල  Internet traffic එක ඔලුව උස්සන්න බැරිතරමට ඉහල යයි කියලා. ඉතින් මේ පීඩනයත් එක්කම එයින් මිදෙන්නට මාන බලන providersලා කල්පනා කරලා බැලුවා ෆයිබර්ස් මාර්ගයෙන් මේකට හොද විසදුමක් ගන්න පුලුවන් නේද කියලා. ඒ කියන්නේ පොටෙන්ෂල් සොලූෂන් එකක් නිර්මාණය වෙනවා මෙහිදී, දියුණු කල හැකි තාක්ෂණයක් නිසා. පහල තියෙනවා වීඩියෝ එකකුත්. එහි multi devices භාවිතා කරලා  optics-based system එකක භාවිතය දක්වා තිබෙනවා. බලන්න එහි පරිගණකයේ ස්ට්රීමින් වෙන වීඩියෝ එක දිහා. කිසිදු ආකාරයක delay වීමක් නැතිව එය කොපමණ හොද වේගයකින් එය රිට්රීව් වෙනවාද කියලා. 


      මේ ආකාරයට උපරිම පර්ෆෝමන්ස් ගන්න පුලුවන් කනෙක්ටිවිටි එකක් විදිහටයි මේ fiber-to-the-home broadband connections විද්වතුන්ගේ මොලගෙඩිවලින් එලියට ආවේ. ඉතින් මේ Fiber-to-the-home broadband connections එහෙමත් නැත්නම් FTTH broadband connections අනුමත කරනවා නිවෙස් වල භාවිතයට. මේ optics-based system එකක ඩිජිටල් ආකාරයේ දත්ත සමූහයක් transfer කල හැකියි කියලා ඔයාල දන්නවා දැනටමත්. උදාහරණයක් විදිහට telephone, video, data ආදී දත්ත  ඩිජිටල් ආකාරයෙන් ආලෝක සංඥා උපයෝගී කරගෙනයි මේ තුලින් ගෙනියන්නේ. ඉතින් එෆිෂන්සි එක ගොඩක් වැඩියි  traditional copper හෝ  coaxial cable  වලට වඩා. FTTH broadband connections දැනටමත් ඇමරිකාවේ මිලියන එකකට වඩා භාවිතා කරනවා. ලෝකය පුරාම ගත්විට මිලියන දහයකට වඩා මේ තාක්ෂණයෙන් පල ලබා ගන්නවා. බොහෝ දෙනෙකුගේ අදහස තමයි මේ නව තාක්ෂණය forecasted Web traffic jam (අන්තර්ජාල තදබදය අඩුකිරීමේ හැකියාව) සදහා කදිම තාක්ෂණයක් වන බව. ඉතින් අපි තවත් ලිපියකින් මෙහි වාසි අවාසි හා කොහොමද මේ  FTTH broadband connection එකක් වැඩකරන්නේ කියන එක පිලිබදවත් කතාකරමු.
                මේ ලිපිය  perspicuous නැත්නම් මට ඒ ගැන කියන්න. මොකද හිත ටිකක් විතර අවුල් වුන වෙලාවක අප්සෙට් එක යන්නත් එක්කයි අද ලියන්න හිතුවේ. නැත්නම් මෙච්චර ඉක්මනට මීලග පෝස්ට් එක දාන්න මම හිතුවේ නෑ. සමහර තැන් අවුට් ඔෆ් ඕඩර් වගේනම් මට කියන්න. අනික තමා මේ ලිපි පෙල කියවන අය ඉන්නේ සීමිත පිරිසක් වෙන්න ඕන. මොකද මේ විෂයත් එක්ක ෆැමිලියර් අය විතරයි මේ ගැන කියවලා තේරැම් ගන්නවා ඇත්තේ. මේ පැත්තට බර නැති අයටටිකක් කම්ප්ලෙක්ස් තමා . ඒකයි මං පුලුවන් තරම් සරලව කියා දෙන්නෙත්. 


FTTH වීඩියෝ ලින්ක් එක