පින්තූරය ගත්තේ මෙතනින්
අද ටිකක් සනීප මදි. ඊයෙ ඉඳන්. ඒ හින්දා ජාලෙ ඇවිදින අතරේ සටහනකුත් ලියන්න හිතුවා. ජීවිතේ කාලෙන් කාලෙට එක එක්කෙනා එබිකම් කරලා යන්න ගියාට අසනීපයක් වුන වෙලාවට තාමත් එකපාරටම මතක් වෙන්නේ අම්මව. ගෙදර හිටිය නම් සැරින් සැරේ කොත්තමල්ලි බොන්නයි, පස්පංගුව තම්බලා දුම් අල්ලන්නයි, මොනව හරි ටිකක් සැරට බෙදාගෙන කන්නයි තිබ්බා. වෙලාවකට හොඳයි ගෙදරින් ටිකක් ඈත ඉන්න එකත්. අම්මට අපි තුන්දෙනාගෙන් එක කරදරයක් අඩු වුනා. දැන් නංගියි, මල්ලියි ගැන විතරනේ බලන්න තියෙන්නේ. වෙලාවකට හිතෙන්නේ එහෙම. මට හොඳට මතකයි මං පුංචි කාලේ. ඒ කිවේ ඉස්කෝලෙ පහේ හයේ වගේ ඉන්න කාලේ. දවසක් ගෙදරින් යද්දි කුඩයක් තිබ්බේ නෑ බෑග් එකේ. මොකද මම කැමති නෑ කුඩ, වතුර බෝතල් එහෙම බෑග් එකේ දාගෙන යන්න. ගෙදරින් පිටත් වෙද්දි වැස්සක ලකුණක් මිසක් දැන් දැන් වහින පාටක් තිබ්බෙත් නෑ. ඒත් ඉස්කෝලෙ ගාවට යද්දි සට සට ගාල මහ වැස්ස. බස් එකෙන් බහින්නේ කොහොමද ? බස් එකෙන් බැහැපු එවුන් කුඩ ඉහලන් දුවනවා ඉස්කෝලෙට. තව ඩිංගක් පමා වුනොතින් වැස්ස කියලා පමාවට කාරණා අහන් නෑ. බැනුම් තමයි. ඒ අතරේ බෑග් එක නිකමට අතගාද්දි කුඩයක් තියෙනවා. මට හොඳටෝම මතකයි මම නම් කුඩයක් දාගත්තේ නැති වග. මගෙ උජාරුවට කුඩයක් දාගත්තෙ නැතත් අම්මා හොරෙන් කුඩයක් දාලා තියෙන්නේ එයාගෙ ජීවිතේම අපේ ආරක්ෂාව නිසා. එදා මාව ආරක්ෂා කලා වගෙමයි අදත් අම්මා එහෙමයි. කඩේකදි මුදලාලිගෙන් හරි , බස් එකේ නම් කොන්දොස්තරගෙන් හරි රුපියල් පහක් දහයක් ආපහු ඉතුරු විදිහට ගන්න කේවල් කරන අම්මා අපි කොහේ හරි යන්න සල්ලි ඉල්ලුවාම ඉල්ලන ගානට අමතරව එයා ගාව සල්ලි තිබ්බොත් හදිස්සියක් වුනොත් ගන්න කියලා තව රුපියල් දෙතුන් සීයක් හරි පර්ස් එකට දානවා. හැම සැපතක්ම අපිට දෙන්න හදන අම්මා එයාගේ සැපත ගැන කවදාවත් හිතන්නේ නැහැ. අපිත් අපේ සැප ගැන හිතුව නම් ඔයාලට මේ සැප දෙන්න වෙන් නෑ කියන අම්මා තමන්ගේ හැම සතුටක්ම අපි වෙනුවෙන් කැප කරලා. ඇඳුම් ගන්න කඩේකට ගියත් අම්මා අපිට හොඳ දෙයක් අරගෙන දීලා අම්මට මොනව හරි දෙයක් එයා ගන්නේ කොහෙ හරි අඩුවට පේමන්ට් එකේ තියෙන සේල් එකකින්. මේ වගේ අම්මලා ගැන කොච්චර නම් ගීත සාහිත්‍ය යේ පවා ලියැවිලා තියෙනවද?
සුනිල් එදිරිසිංහයන් විතරක් නෙමෙයි අම්මා ගැන ඒ විදිහට කියන්නේ. තව කොච්චර ගීත තියෙනවද? අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා වගේ ගීත වර්ණනාව මට බැරි වුණත්, "අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා" කියලා ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් සංගීත් විජේසූරිය කරන්නෙත් අම්මගේ සෙනෙහස ඒ තරම්ම හැම සංසාරෙකදිම ඕන නිසා වෙන්න ඇති කියල හිතුනා. චාමර වීරසිංහගෙන් "නපුරු වෙන්න එපා කියල" අම්ම ගැන ලස්සන ගීතයක් මෑත කාලෙදි බිහිවුනෙත් ඒ සෙනෙහස මිල කරන්න බැරි හින්දමයි.
"කලාවැවේ නිල් දියවර අපේ අම්මා"
කියලා දිවුල්ගනේ මහත්මයා කීව ගීතය මං ඒ කාලේ අපේ Youth Society එකේ ඉද්දි බොහොම ලස්සනට ගායනා කරපු බව ඒක අහගෙන හිටපු මගෙ යාලුවො කිවේ කින්ඩියට ද කොහෙද.
කියලා දිවුල්ගනේ මහත්මයා කීව ගීතය මං ඒ කාලේ අපේ Youth Society එකේ ඉද්දි බොහොම ලස්සනට ගායනා කරපු බව ඒක අහගෙන හිටපු මගෙ යාලුවො කිවේ කින්ඩියට ද කොහෙද.
මං ඉපදුන දා අම්මා අඬන්න ඇති සතුටට. මං පුංචි කාලේ වැටි වැටි ඇවිදින්න හදනකොට අම්මට සතුටට ඇඬෙන්න ඇති. හැමදම මාව මොන්ටිසෝරියට ඇරලුවේ අපේ අම්මා. හැමදම අවුරුද්දක් යනකම් මාව ඒ විදිහට ගෙනිහින් දාන්නයි ඇරෙනකම් ඉඳලා එක්කගෙන එන්නයි අම්මා කොච්චර නම් මහන්සියක් වෙන්න ඇත්ද? අම්මා කියනවා මං ඒ දවස්වල මොන්ටිසෝරියේ වාඩි වෙලා ඉද්දි සැරින් සැරේ පිටිපස්ස හැරිලා බලනවලු අම්මා ඉන්නවද කියලා. පේන්න හිටියෙ නැත්නම් මං බෙරිහන් දීලා අඬනවලු. ඒ දවස්වල හැමදම අම්මා හිටගෙන හරි පුටුවක් හොයාගෙන වාඩි වෙලා හරි මං බැලුවම පේන තැනක පිටිපස්සෙන් ඉන්නවලු. මං මුලින්ම ඉස්කෝලේ ගිය දවසේ මට මතක නැත්ත ඒ හැම එකකදිම අම්මා මගේ හෙවණැල්ල වගේ උන්නා. ඒ දවස්වල නම් මම මට මතක් වුන දවස්වලට තමයි දණ ගහලා අම්මටයි, අප්පච්චිටයි වඳින්නේ. නැත්නම් වඳින් නෑ. මගෙ තියෙන නැටිල්ලට අප්පච්චිගෙන් වේවැල් පාර කද්දි මට මතකයි හොඳටම අම්මා අප්පච්චිව නවත්තන්න හදනවා ගහන්න එපා කියලා. අම්මත් බැනුම් අහනවා එතකොට අප්පච්චිගෙන්. නංගියි , මල්ලියි ඉපදුන දවසෙත් අම්මා අඬන්න ඇති. අපි හැමෝම කාලා ඉවර වුනාම තමයි අම්මා බත් බෙදා ගන්නේ. අම්ම කන්නේ කුස්සියේ පුටුවක හරි වංගෙඩියේ හරි ඉඳගෙන. අම්මා හැමදම අපි හැමෝටම බත් බෙදල දීලා අපි දෙපාරක් කාලා බත් ඉවරවුනාම සමහර දවස්වලට බඩගින්නෙත් ඉන්න ඇති. අම්මා අසනීපෙන් ඇඳේ ඉද්දිත් අම්මගේ ඔලුවේ තියෙන්නේ අපි ගැන. පුතා කෑවද? බීවද? ඉස්කෝලේ ගියාද? පාඩම් වැඩ කරගත්තද? අප්පච්චි වැඩ ඇරිල ආවම කරදර කරන්න යන්න එපා. අසනීපයි කියලා නිකම් ඉඳලා නෑ. තමන් ගැන හිතල නෑ කොයිම වෙලාවකවත්. අසනීපෙන් ඉද්දි පවා මහ පාන්දර නැගිටලා අපි වෙනුවෙන් මොනව හරි උයල අප්පච්චිටත් බත් එකක් බැඳලා තමයි ආයෙත් පොඩි වෙලාවක් හරි මහන්සි අරින්න බලන්නේ. මමයි මල්ලියි බයික් එකේ හැප්පිලා ඉස්පිරිකතාලෙ ඉන්නකොට අම්මා හිටියේ ඇඬූ කඳුලින් කියලා නංගි මෑතකදිත් කියනවා මං අහගෙන. ඒ දවස් ටිකේ හරියට කෑමක් බීමක්වත් ගත්තෙ නෑලු. ඇත්ත තමයි අපි ආපහු සනීප වෙලා එද්දි අම්මා හිටියයින් බාගයයි. අපිට වෙච්ච දේටත් වැඩිය අම්මා අපි ගැන දුක් වෙනවා. ඒ තමයි මාතෘ ස්වභාවය. හැම අම්ම කෙනෙක්ම එහෙමයි.
අපේ අම්මා නම් හරි මුරණ්ඩුයි. අපි වෙනුවෙන් තවත් නම් මහන්සි වෙන්න එපා කියලා කිවත් නිවාඩුවට ගෙදර ආවම ආයෙත් අර පුංචි කාලෙ මාව බලාගත්ත වගෙයි. මාව තාම පේන්නේ ඒ පුංචි කාලෙ හිටපු එකා වගේ වෙන්න ඇති. සතුටයි, දුකයි අම්මලා එලියට දාන්නේ කඳුලු වලින් කියලයි මට හිතෙන්නේ. තමන් ගේ යහපත, දියුණුව උදෙසා, තමන් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන ආත්මාර්ථකාමී සමාජයක වෙනත් කෙනෙක්ගේ සැපත සතුට ගැන සිතීමට සමත් වෙන කෙනෙක් වෙත්නම් ඒ අම්මා, බිරිඳ යනුවෙන් හඳුන්වන කාන්තාව පමණක්මය කියල කියන්න පුලුවන්. මම කෙල්ලෙක්ට කියලා ජීවිතේටම එක පාරයි ආදරේ කලේ. ඒ ආදරේ නැතුව ගියාට පස්සේ අම්මගේ ආදරේ කොච්චර බලවත්ද ඒ හැමටම වඩා කියලා මට තේරුණා. ඒක කෙලවරක් නොදකින ආදරයක්. ඒ ආදරෙයි අනිත් ආදරෙයි එකිනෙකට වෙනස් වගේම සංසන්දනය කරන්න බැහැ තමයි. නමුත් අම්මගේ ආදරය, මාතෘ ස්නේහය කිසිම දෙයක් කවදාවත් ආපිට බලාපොරොත්තු නොවන එකක්. බැණ අඬ නොගහන, ජීවිතේ බලාපොරොත්තු ඇත්නම් ඒවට මුවින් නොබැන ඒවා එලි කරගන්න පාර හදල දෙන ඒ ආදරේ කවදාවත් අතරමග දාලා යන එකක් නෙවි. හිතෙන් නොපෙන්නුවට ඒ ආදරේ මහ බලගතුව මට දැනෙනවා. අම්මගේ ඒ ආදරේ හින්දද මන්දා මට දැන් වෙන ආදරේක අඩුපාඩුවක් දැනෙන් නැත්තේ. හැම කොල්ලෙක්ම මම වගේ බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඒ තරම්ම කැපවීම් බලාපොරොත්තු නොවුනත් තමන්ගෙ අම්ම වගේ මාතෘ ස්නේහයෙන් ආදරේ කරන කෙල්ලෙක් හම්බ උනොත් හොදයි කියල වෙන්න ඇති. මගේ වයසේ ගොඩක් එවුන්ට දැන් ලමයිනුත් ඉන්නවා. දැන් වයස තිහක් විතරම වෙන්න ඇවිත්. එහෙව් එකේ දැන් මට කොල්ලෙක් කියන්නත් බෑ.
මවක්, බිරිඳක් හැටියට කාන්තාව ගත්තම ඇයට කොච්චරක් නම් කියලා වැඩ කන්දරාවක් පැවරිලා තියෙනවද. අපේ ගෙදරින් මේ උදාහරණය ගත්තේ අම්මගෙන්. ඇයට කප්පරක් වැඩ. ඒ අස්සේ ගෙදර, තමන්ගේ කූඩුව පිරිසිදුව තියාගන්න එක. අතුගාන්න, පිහ දාන්න හැමදාම. අප්පච්චිගෙන් ඒවට ලැබෙන සහය නම් හරිම අඩුයි. මම ගෙදර ඉන්න වෙලාවට මට පුලුවන් හැම දෙයක්ම කරලා අම්මගේ වැඩ ලේසි කරලා දෙන එක මගෙ පුරුද්දක්. ඒ දේවල් පුංචි කාලෙ ඉඳන් පුරුද්දක් විදිහට එනව නම් විතරයි ඒ දේවල් වලට පිරිමියෙක් යොමු වෙන්නේ. ඒ දේ අප්පච්චිගෙන් මම තේරුම් ගත්තේ. එහෙම නැත්නම් පිරිමියෙක් ඒ වැඩ කොච්චර අමාරුද කියලා තේරුම් ගන්නේ නෑ. විවාහ වෙලා දරුවො ලබල මැදි වයසෙ ඉන්න කාන්තාවො බොහොමයක් හොඳින් ජීවත් වුනත් ජීවිතේ ඇතුලෙන් ගෙවන්නේ එක්තරා ප්‍රමාණයක දුකක් එක්ක. ඔවුන් යථා තත්ත්වය පිලිගන්නෙ ලොකු දුකකුත් දරාගෙන වෙන කරන්න දෙයක් නැති නිසා. ගෙයක් උනාම පිළිවෙලකට තියෙන්න ඕනෙ නම් ඉතින් අම්මලාට දරුවොත්, බිරින්දැට ස්වාමියාත් විදිහට අන්‍යාන්‍යව සමගියෙන් උදව් කරන්න ඕන. මේක එයාගෙ වැඩක්, මේක මෙයාට අයිති මෙයා කරන්න ඕන වැඩක් කියලා නීතියක් නෑ. පිරිමියා ඔය කියන කැපකිරීම බලාපෙරොත්තු වෙන්න වෙන්න කුටුම්බය ඇතුලෙන් මවට හෝ බිරිඳට කරන්න තියෙන වැඩ කන්දරාව ඇයට යෙදෙන පීඩනය වැඩි වෙනවා. මම ඕනෙ තරම් අහල තියෙනව අපේ කෙනා මට කිසි උදව්වක් කරන් නෑ කිය කිය දඩිබිඩියේ තනිවම වැඩ කරන කාන්තාවෝ ගැන. බැන්දට පස්සේ House Cleaner කෙනෙක් වුනා වගේ. එයාලට ඇත්තටම තමන්ගෙ පවුලේ වැඩ කටයුතු නිසා තමන්ව අහිමි වුණ බව පස්සෙන් පහුවට තේරුම් යනවා. ඒත් ලාංකීය සමාජය ඇතුලේ තවමත් බෙරේ කොහොම හරි ගහන්නම මිසක්, තාලය වෙනස් කරගන්න හෝ ගලවලා පැත්තකට දාලා වෙන බෙරයක් බැඳගන්න තැනට සංස්කෘතිය හැදිල නැති නිසා පිටින් ලස්සනට වාදනය වෙන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. නමුත් පවුලේ සුභ සිද්ධිය උදෙසා ඇය ඒවා දරා ගන්නවා. අම්මලා මේ දේ ප්‍රසිද්ධියේ නොකිව්වත් බොහොමයක් අම්මලාට, කාන්තාවන්ට මේ තත්ත්වය පොදුයි. නිවස ලස්සනට තියාගන්න ඇයමයි උත්සාහ කරන්න ඕනෙ. තමන්ගේ දරුවන්ගේ වගේම ස්වාමියාගේ ආරක්ෂාව පොදුවේ ගත්තහම පවුලේ ආරක්ෂාවත් ඇය පිට. ආරක්ෂාව ගත්තම විවිධාකාරයි. මිදුල, කානුව, ලිඳ, වැසිකිලි-කැසිකිලි, ස්වාමියගේ හා දරුවන්ගේ රෙදි පිලි, ඔවුන්ගේ පෝෂණය, කෑම බීම ආදිය පිලිබඳව ඔවුන්ටත් වඩා වගකීම පැටවෙන්නේ ඇයටයි. දරුවා පාසලට ඇරලන්න, ආයෙත් එක්ක එන්න, දෙමාපිය රැස්වීම වලට සහභාගි වෙන්න, ගමේ සමිති සමාගම්වලට යන්න, ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවන්න යන්න, සතිපොලට ගිහින් ගෙදරට අවශ්‍ය කලමනා ගේන්න. ඒ හැම දෙයක් වෙනුවෙන්ම කැප වුනාම ඇයට ඇය ගැන හිතන්නවත් වෙලාවක් කලාවක් නෑ. අන්තිමේ ඇයට තමයි හැම දේම.
ලංකාවෙ කාන්තාවො සෑහෙන ප්‍රමාණයක් සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්න බොහොම කැමතියි වගේම එයාලගෙන් බොහොම සුලු පිරිසක් තමා කාන්තා විමුක්තිය ඕනෙ කියල කියන්නෙත්. ගොඩක් කාන්තාවන් තුල අපේ රටේ පැලපදියම් වෙලා තියෙන සංස්කෘතියත් එක්ක එයාලට කරන්න නියම වෙලා තියෙන වැඩ ටික ගැන උපේක්ෂා සහගතව බලමින් ඒ ටික කරනු විනා නිදහසක් ඉල්ලීමක් ඒ අයට ඕනෙ නෑ. ඒකනේ බෑ නොකියා , වගපල කියන් නැතුව තමන්ගේ දරුවොත් හදල ඒ දරුවන්ගේ දරුවනුත් ඉපදුනාට පස්සේ උනුත් රැක බලාගන්න තරම් ඒ සෙනෙහස උත්තරීතර වෙන්නේ. ඒ අපේ රටේ බෞද්ධාගමත් එක්ක ඈඳුනු සංස්කෘතිය ඇතුලෙ විතරයි මම හිතන්නේ. පිටරටවලදි නම් මේ කියන බැඳිම නෑ. තමන් වෙනුවෙන් තමන්ගේ නිදහස රැක ගන්න, ලස්සන රැක ගන්න ඒ අය අරගල කරනවා. රටින් රටට ඇවිත් ආසියාවේ රටවලටත් බෝවුනාට පස්සේ තමයි ඒවා අපේ රටටත් එන්නේ. නමුත් අපේ රට ඒ වගේ සමහර දේවල් ව්‍යාප්තියේදිම අනුකරණය කරන්න ගන්නේ ඒ රටටත් අපේ රටටත් දෙකටම නැති විදිහට. කුටුම්භය කියන තැනදිම කාන්තාවක් අයුතු විදිහට හිරිහැරයට ලක්වෙනව නම් ඒ බොහෝ විට නූගත් කම දුප්පත් කම නිසා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක සාධාරණව ඒ ගැටළුවෙන් නිදහස් වෙන්න තරමට දැන් නම් නීති සැකසිලා තියෙන්නේ. රටේ නීතිය ඒකට සම්පූර්ණ ඉඩ දීල තියනවා. එහෙම වෙලත් තවදුරටත් කැමැත්තෙන් විඳවන අය ඉන්නවා නම් ඒකට හේතුව විදිහට සැලකිය හැක්කේ සම්ප්‍රදායික පවුල් රාමුව ඇතුලේ පෙර කියපු සංස්කෘතික නියමයන් ඔස්සේ හිත තුල පුංචි කාලේ ඉඳන් ගොඩ නැගුණු පවුල කියන සංදර්භය තුලට ඒ වෙනුවෙන් කැප වෙන්න ලංකාවේ කාන්තාවගේ තියෙන කැමැත්ත. කලිනුත් කීවා වගේ දරුවෝ තමයි එතැනදි ඇයව දුර්වල කරන එකම සාධකය.
පවුල තුල සැමියාත්, බිරිඳ හා සමානවම එක වගේ කැප වෙනව නම් ඕනම ගැහැණියකට ජීවිතය කියන එක නැවුම් විදිහට දකින්න පුළුවන්. අස්ස කරත්තෙක ඇවිත් ලස්සන වෙඩිමක් දාලා කැන්දන් ගියාට පස්සේ ජීවන හීනය විවාහයෙන් පස්සෙ දරුවන් හා ස්වාමියා වෙනුවෙන් දිය කරලා හරින්න වෙලා තියෙනවා. කාන්තාව ඉන්නේ මේ දේවල් වෙනුවෙන්, මේවා ඇගේ යුතුකම්, මේ කැපකිරීම් ඇය විසින් කල යුතුයි කියලා අලවපු ලේබල් ටික නිසා නොදැනුවත්වම හරි ඇගේ අයිතිවාසිකම් උදුරගෙන ඒවා ඉටු කරනු පිණිස ඇයව පත්කිරීමෙනුයි සමාජයේ උතුම් තැනකට ඇයව පත්කරලා තියෙන්නේ. පිරිමියෙක් මේවා කරන්න ගත්තම සංස්කෘතිය,පවුල් බැදීම් විනාශ වෙනවා කියන චෝදනාව එල්ල වෙන්නත් පුළුවන්. නමුත් අද සමාජය කොච්චර නම් තරඟකාරීද. නව තාක්ෂණය භාවිත කරන නිසා නගරබද කාන්තාවන් යම්තම් හරි ඉස්පාසුවක් ලබනවා කිවත් ඒක එහෙමමද කියන එක ගැටලුවක්. අපේ අම්මලා වගේ ගම්බද ජීවත් වෙන උදවිය ඔන්න ඔය ආකාරයි. ඇය තුන්සිය හැටපස් දවසෙම සමාජය විසින් තමන්ට දීල තියෙනවයි කියපු ලේබලය නිසා පූජනීය බැඳිම පෙරටු කරගෙන තමන්ගෙ දරුවන් හා සැමියා ඇතුලු කුටුම්භය ආරක්ෂා කරගත යුතු නිසා තමන් ගැන පවා අමතක කරනවා. තමන්ට කියලා ජීවිතයක් ඇයට නෑ. ආර්ථිකයේ ඇති අඩු ලුහුඬු කම් හේතුවෙන් කාන්තාවත් රස්සාවක් කරන මේ වගේ කාලෙක අර ඉහත කියපු රාමුව ඇතුලේ ගැහැණියව හිර කරලා තිබීම කොයි තරම් දුරට හරිද කියන එකයි කියන්න ඕනෙ වුනේ. කාන්තාවන්ට ඇය මේ හිර වෙලා ඉන්න ක්‍රමය වෙනස් කරගන්න සමාජය විසින් දීල තියෙන විකල්පයන් අඩුයි. එහෙම වෙනස් වෙන්න උත්සාහ දැරුවොත් සමාජය කියන්නේ වෙන වෙන කතා.
පවුල තුල සැමියාත්, බිරිඳ හා සමානවම එක වගේ කැප වෙනව නම් ඕනම ගැහැණියකට ජීවිතය කියන එක නැවුම් විදිහට දකින්න පුළුවන්. අස්ස කරත්තෙක ඇවිත් ලස්සන වෙඩිමක් දාලා කැන්දන් ගියාට පස්සේ ජීවන හීනය විවාහයෙන් පස්සෙ දරුවන් හා ස්වාමියා වෙනුවෙන් දිය කරලා හරින්න වෙලා තියෙනවා. කාන්තාව ඉන්නේ මේ දේවල් වෙනුවෙන්, මේවා ඇගේ යුතුකම්, මේ කැපකිරීම් ඇය විසින් කල යුතුයි කියලා අලවපු ලේබල් ටික නිසා නොදැනුවත්වම හරි ඇගේ අයිතිවාසිකම් උදුරගෙන ඒවා ඉටු කරනු පිණිස ඇයව පත්කිරීමෙනුයි සමාජයේ උතුම් තැනකට ඇයව පත්කරලා තියෙන්නේ. පිරිමියෙක් මේවා කරන්න ගත්තම සංස්කෘතිය,පවුල් බැදීම් විනාශ වෙනවා කියන චෝදනාව එල්ල වෙන්නත් පුළුවන්. නමුත් අද සමාජය කොච්චර නම් තරඟකාරීද. නව තාක්ෂණය භාවිත කරන නිසා නගරබද කාන්තාවන් යම්තම් හරි ඉස්පාසුවක් ලබනවා කිවත් ඒක එහෙමමද කියන එක ගැටලුවක්. අපේ අම්මලා වගේ ගම්බද ජීවත් වෙන උදවිය ඔන්න ඔය ආකාරයි. ඇය තුන්සිය හැටපස් දවසෙම සමාජය විසින් තමන්ට දීල තියෙනවයි කියපු ලේබලය නිසා පූජනීය බැඳිම පෙරටු කරගෙන තමන්ගෙ දරුවන් හා සැමියා ඇතුලු කුටුම්භය ආරක්ෂා කරගත යුතු නිසා තමන් ගැන පවා අමතක කරනවා. තමන්ට කියලා ජීවිතයක් ඇයට නෑ. ආර්ථිකයේ ඇති අඩු ලුහුඬු කම් හේතුවෙන් කාන්තාවත් රස්සාවක් කරන මේ වගේ කාලෙක අර ඉහත කියපු රාමුව ඇතුලේ ගැහැණියව හිර කරලා තිබීම කොයි තරම් දුරට හරිද කියන එකයි කියන්න ඕනෙ වුනේ. කාන්තාවන්ට ඇය මේ හිර වෙලා ඉන්න ක්‍රමය වෙනස් කරගන්න සමාජය විසින් දීල තියෙන විකල්පයන් අඩුයි. එහෙම වෙනස් වෙන්න උත්සාහ දැරුවොත් සමාජය කියන්නේ වෙන වෙන කතා.
මූට මොකද්ද කාන්තා විමුක්තිය ගැන ඔච්චරටම තියෙන අමාරුව කියලා සහ මේක රැඩිකල් කතාවක් කියලා ගල් මුල් වැදෙන්න බැරි කමකුත් නෑ. කීබෝඩ් එකෙන් මේවට උත්තර හොයන්න බෑ තමයි. ඒත් අපට මොකෝ කියල බලං ඉන්න එක අපි හැමදාමත් කරන හින්දා කියවන කෙනෙක්ට කියවලා තේරුම් ගන්න එක්කත් කියලයි දැම්මේ.
අම්ම කෙනෙක් කොයි වගේද? වීඩියෝව මෙතනින්

