Sunday, September 29, 2013

මවක්, බිරිඳක් සහ කාන්තාවක් විදිහට ඇය...


පින්තූරය ගත්තේ මෙතනින් 


               අද ටිකක් සනීප මදි. ඊයෙ ඉඳන්. ඒ හින්දා ජාලෙ ඇවිදින අතරේ සටහනකුත් ලියන්න හිතුවා. ජීවිතේ කාලෙන් කාලෙට එක එක්කෙනා එබිකම් කරලා යන්න ගියාට අසනීපයක් වුන වෙලාවට තාමත් එකපාරටම මතක් වෙන්නේ අම්මව. ගෙදර හිටිය නම් සැරින් සැරේ කොත්තමල්ලි බොන්නයි, පස්පංගුව තම්බලා දුම් අල්ලන්නයි, මොනව හරි ටිකක් සැරට බෙදාගෙන කන්නයි තිබ්බා. වෙලාවකට හොඳයි ගෙදරින් ටිකක් ඈත ඉන්න එකත්. අම්මට අපි තුන්දෙනාගෙන් එක කරදරයක් අඩු වුනා. දැන් නංගියි, මල්ලියි ගැන විතරනේ බලන්න තියෙන්නේ. වෙලාවකට හිතෙන්නේ එහෙම. මට හොඳට මතකයි මං පුංචි කාලේ. ඒ කිවේ ඉස්කෝලෙ පහේ හයේ වගේ ඉන්න කාලේ. දවසක් ගෙදරින් යද්දි කුඩයක් තිබ්බේ නෑ බෑග් එකේ. මොකද මම කැමති නෑ කුඩ, වතුර බෝතල් එහෙම බෑග් එකේ දාගෙන යන්න. ගෙදරින් පිටත් වෙද්දි වැස්සක ලකුණක් මිසක් දැන් දැන් වහින පාටක් තිබ්බෙත් නෑ. ඒත් ඉස්කෝලෙ ගාවට යද්දි සට සට ගාල මහ වැස්ස. බස් එකෙන් බහින්නේ කොහොමද ? බස් එකෙන් බැහැපු එවුන් කුඩ ඉහලන් දුවනවා ඉස්කෝලෙට. තව ඩිංගක් පමා වුනොතින් වැස්ස කියලා පමාවට කාරණා අහන් නෑ. බැනුම් තමයි. ඒ අතරේ බෑග් එක නිකමට අතගාද්දි කුඩයක් තියෙනවා. මට හොඳටෝම මතකයි මම නම් කුඩයක් දාගත්තේ නැති වග. මගෙ උජාරුවට කුඩයක් දාගත්තෙ නැතත් අම්මා හොරෙන් කුඩයක් දාලා තියෙන්නේ එයාගෙ ජීවිතේම අපේ ආරක්ෂාව නිසා. එදා මාව ආරක්ෂා කලා වගෙමයි අදත් අම්මා එහෙමයි. කඩේකදි මුදලාලිගෙන් හරි , බස් එකේ නම් කොන්දොස්තරගෙන් හරි රුපියල් පහක් දහයක් ආපහු ඉතුරු විදිහට ගන්න කේවල් කරන අම්මා අපි කොහේ හරි යන්න සල්ලි ඉල්ලුවාම ඉල්ලන ගානට අමතරව එයා ගාව සල්ලි තිබ්බොත් හදිස්සියක් වුනොත් ගන්න කියලා තව රුපියල් දෙතුන් සීයක් හරි පර්ස් එකට දානවා.  හැම සැපතක්ම අපිට දෙන්න හදන අම්මා එයාගේ සැපත ගැන කවදාවත් හිතන්නේ නැහැ. අපිත් අපේ සැප ගැන හිතුව නම් ඔයාලට මේ සැප දෙන්න වෙන් නෑ කියන අම්මා තමන්ගේ හැම සතුටක්ම අපි වෙනුවෙන් කැප කරලා.  ඇඳුම් ගන්න කඩේකට ගියත් අම්මා අපිට හොඳ දෙයක් අරගෙන දීලා අම්මට මොනව හරි දෙයක් එයා ගන්නේ කොහෙ හරි අඩුවට පේමන්ට් එකේ තියෙන සේල් එකකින්. මේ වගේ අම්මලා ගැන කොච්චර නම් ගීත සාහිත්‍ය යේ පවා ලියැවිලා තියෙනවද?






              සුනිල් එදිරිසිංහයන් විතරක් නෙමෙයි අම්මා ගැන ඒ විදිහට කියන්නේ. තව කොච්චර ගීත තියෙනවද? අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා වගේ ගීත වර්ණනාව මට බැරි වුණත්, "අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා" කියලා ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් සංගීත් විජේසූරිය කරන්නෙත් අම්මගේ සෙනෙහස ඒ තරම්ම හැම සංසාරෙකදිම ඕන නිසා වෙන්න ඇති කියල හිතුනා. චාමර වීරසිංහගෙන් "නපුරු වෙන්න එපා කියල" අම්ම ගැන ලස්සන ගීතයක් මෑත කාලෙදි බිහිවුනෙත් ඒ සෙනෙහස මිල කරන්න බැරි හින්දමයි.



"කලාවැවේ නිල් දියවර අපේ අම්මා"

               කියලා දිවුල්ගනේ මහත්මයා කීව ගීතය මං ඒ කාලේ අපේ  Youth Society එකේ ඉද්දි බොහොම ලස්සනට ගායනා කරපු බව ඒක අහගෙන හිටපු මගෙ යාලුවො කිවේ කින්ඩියට ද කොහෙද. 

                 මං ඉපදුන දා අම්මා අඬන්න ඇති සතුටට. මං පුංචි කාලේ වැටි වැටි ඇවිදින්න හදනකොට අම්මට සතුටට ඇඬෙන්න ඇති. හැමදම මාව මොන්ටිසෝරියට ඇරලුවේ අපේ අම්මා.  හැමදම අවුරුද්දක් යනකම් මාව ඒ විදිහට ගෙනිහින් දාන්නයි ඇරෙනකම් ඉඳලා එක්කගෙන එන්නයි අම්මා කොච්චර නම් මහන්සියක් වෙන්න ඇත්ද? අම්මා කියනවා  මං ඒ දවස්වල මොන්ටිසෝරියේ වාඩි වෙලා ඉද්දි සැරින් සැරේ පිටිපස්ස හැරිලා බලනවලු අම්මා ඉන්නවද කියලා. පේන්න හිටියෙ නැත්නම් මං බෙරිහන් දීලා අඬනවලු. ඒ දවස්වල හැමදම අම්මා හිටගෙන හරි පුටුවක් හොයාගෙන වාඩි වෙලා හරි මං බැලුවම පේන තැනක පිටිපස්සෙන් ඉන්නවලු. මං මුලින්ම ඉස්කෝලේ ගිය දවසේ මට මතක නැත්ත ඒ හැම එකකදිම අම්මා මගේ හෙවණැල්ල වගේ උන්නා. ඒ දවස්වල නම් මම මට මතක් වුන දවස්වලට තමයි දණ ගහලා අම්මටයි, අප්පච්චිටයි වඳින්නේ.  නැත්නම් වඳින් නෑ. මගෙ තියෙන නැටිල්ලට අප්පච්චිගෙන් වේවැල් පාර කද්දි මට මතකයි හොඳටම අම්මා අප්පච්චිව නවත්තන්න හදනවා ගහන්න එපා කියලා. අම්මත් බැනුම් අහනවා එතකොට අප්පච්චිගෙන්. නංගියි , මල්ලියි ඉපදුන දවසෙත් අම්මා අඬන්න ඇති. අපි හැමෝම කාලා ඉවර වුනාම තමයි අම්මා බත් බෙදා ගන්නේ. අම්ම කන්නේ කුස්සියේ පුටුවක හරි වංගෙඩියේ හරි ඉඳගෙන. අම්මා හැමදම අපි හැමෝටම බත් බෙදල දීලා අපි දෙපාරක් කාලා බත් ඉවරවුනාම සමහර දවස්වලට බඩගින්නෙත් ඉන්න ඇති. අම්මා අසනීපෙන් ඇඳේ ඉද්දිත් අම්මගේ ඔලුවේ තියෙන්නේ අපි ගැන. පුතා කෑවද? බීවද? ඉස්කෝලේ ගියාද? පාඩම් වැඩ කරගත්තද? අප්පච්චි වැඩ ඇරිල ආවම කරදර කරන්න යන්න එපා. අසනීපයි කියලා නිකම් ඉඳලා නෑ. තමන් ගැන හිතල නෑ කොයිම වෙලාවකවත්. අසනීපෙන් ඉද්දි පවා මහ පාන්දර නැගිටලා අපි වෙනුවෙන් මොනව හරි උයල අප්පච්චිටත් බත් එකක් බැඳලා තමයි ආයෙත් පොඩි වෙලාවක් හරි මහන්සි අරින්න බලන්නේ. මමයි මල්ලියි බයික් එකේ හැප්පිලා ඉස්පිරිකතාලෙ ඉන්නකොට අම්මා හිටියේ ඇඬූ කඳුලින් කියලා නංගි මෑතකදිත් කියනවා මං අහගෙන. ඒ දවස් ටිකේ හරියට කෑමක් බීමක්වත් ගත්තෙ නෑලු. ඇත්ත තමයි අපි ආපහු සනීප වෙලා එද්දි අම්මා හිටියයින් බාගයයි. අපිට වෙච්ච දේටත් වැඩිය අම්මා අපි ගැන දුක් වෙනවා. ඒ තමයි මාතෘ ස්වභාවය. හැම අම්ම කෙනෙක්ම එහෙමයි.  

                  අපේ අම්මා නම් හරි මුරණ්ඩුයි. අපි වෙනුවෙන් තවත් නම් මහන්සි වෙන්න එපා කියලා කිවත් නිවාඩුවට ගෙදර ආවම ආයෙත් අර පුංචි කාලෙ මාව බලාගත්ත වගෙයි. මාව තාම පේන්නේ ඒ පුංචි කාලෙ හිටපු එකා වගේ වෙන්න ඇති.  සතුටයි, දුකයි අම්මලා එලියට දාන්නේ කඳුලු වලින් කියලයි මට හිතෙන්නේ. තමන් ගේ යහපත, දියුණුව උදෙසා, තමන් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන ආත්මාර්ථකාමී සමාජයක වෙනත් කෙනෙක්ගේ සැපත සතුට ගැන සිතීමට සමත් වෙන කෙනෙක් වෙත්නම් ඒ අම්මා, බිරිඳ යනුවෙන් හඳුන්වන කාන්තාව පමණක්මය කියල කියන්න පුලුවන්. මම කෙල්ලෙක්ට කියලා ජීවිතේටම එක පාරයි ආදරේ කලේ. ඒ ආදරේ නැතුව ගියාට පස්සේ අම්මගේ ආදරේ කොච්චර බලවත්ද ඒ හැමටම වඩා කියලා මට තේරුණා. ඒක කෙලවරක් නොදකින ආදරයක්. ඒ ආදරෙයි අනිත් ආදරෙයි එකිනෙකට වෙනස් වගේම සංසන්දනය කරන්න බැහැ තමයි. නමුත් අම්මගේ ආදරය, මාතෘ ස්නේහය කිසිම දෙයක් කවදාවත් ආපිට බලාපොරොත්තු නොවන එකක්. බැණ අඬ නොගහන, ජීවිතේ බලාපොරොත්තු ඇත්නම් ඒවට මුවින් නොබැන ඒවා එලි කරගන්න පාර හදල දෙන ඒ ආදරේ කවදාවත් අතරමග දාලා යන එකක් නෙවි. හිතෙන් නොපෙන්නුවට ඒ ආදරේ මහ බලගතුව මට දැනෙනවා.   අම්මගේ ඒ ආදරේ හින්දද මන්දා මට දැන් වෙන ආදරේක අඩුපාඩුවක් දැනෙන් නැත්තේ. හැම කොල්ලෙක්ම මම වගේ බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඒ තරම්ම කැපවීම් බලාපොරොත්තු නොවුනත් තමන්ගෙ අම්ම වගේ මාතෘ ස්නේහයෙන් ආදරේ කරන කෙල්ලෙක් හම්බ උනොත් හොදයි කියල වෙන්න ඇති. මගේ වයසේ ගොඩක් එවුන්ට දැන් ලමයිනුත් ඉන්නවා.  දැන් වයස තිහක් විතරම වෙන්න ඇවිත්. එහෙව් එකේ දැන් මට කොල්ලෙක් කියන්නත් බෑ. 

                     මවක්, බිරිඳක් හැටියට කාන්තාව ගත්තම ඇයට කොච්චරක් නම් කියලා වැඩ කන්දරාවක් පැවරිලා තියෙනවද. අපේ ගෙදරින් මේ උදාහරණය ගත්තේ අම්මගෙන්. ඇයට කප්පරක් වැඩ. ඒ අස්සේ ගෙදර, තමන්ගේ කූඩුව පිරිසිදුව තියාගන්න එක. අතුගාන්න, පිහ දාන්න හැමදාම. අප්පච්චිගෙන් ඒවට ලැබෙන සහය නම් හරිම අඩුයි. මම ගෙදර ඉන්න වෙලාවට මට පුලුවන් හැම දෙයක්ම කරලා අම්මගේ වැඩ ලේසි කරලා දෙන එක මගෙ පුරුද්දක්. ඒ දේවල් පුංචි කාලෙ ඉඳන් පුරුද්දක් විදිහට එනව නම් විතරයි ඒ දේවල් වලට පිරිමියෙක් යොමු වෙන්නේ. ඒ දේ අප්පච්චිගෙන් මම තේරුම් ගත්තේ. එහෙම නැත්නම් පිරිමියෙක් ඒ වැඩ කොච්චර අමාරුද කියලා තේරුම් ගන්නේ නෑ. විවාහ වෙලා දරුවො ලබල මැදි වයසෙ ඉන්න කාන්තාවො බොහොමයක් හොඳින් ජීවත් වුනත් ජීවිතේ ඇතුලෙන් ගෙවන්නේ එක්තරා ප්‍රමාණයක දුකක් එක්ක. ඔවුන්  යථා තත්ත්වය පිලිගන්නෙ ලොකු දුකකුත් දරාගෙන වෙන කරන්න දෙයක් නැති නිසා. ගෙයක් උනාම පිළිවෙලකට තියෙන්න ඕනෙ නම් ඉතින් අම්මලාට දරුවොත්, බිරින්දැට ස්වාමියාත් විදිහට අන්‍යාන්‍යව සමගියෙන් උදව් කරන්න ඕන. මේක එයාගෙ වැඩක්, මේක මෙයාට අයිති මෙයා කරන්න ඕන වැඩක් කියලා නීතියක් නෑ.  පිරිමියා ඔය කියන කැපකිරීම බලාපෙරොත්තු වෙන්න වෙන්න කුටුම්බය ඇතුලෙන් මවට හෝ බිරිඳට කරන්න තියෙන වැඩ කන්දරාව ඇයට යෙදෙන පීඩනය වැඩි වෙනවා. මම ඕනෙ තරම් අහල තියෙනව අපේ කෙනා මට කිසි උදව්වක් කරන් නෑ කිය කිය දඩිබිඩියේ තනිවම වැඩ කරන කාන්තාවෝ ගැන. බැන්දට පස්සේ House Cleaner කෙනෙක් වුනා වගේ. එයාලට ඇත්තටම තමන්ගෙ පවුලේ වැඩ කටයුතු නිසා තමන්ව අහිමි වුණ බව පස්සෙන් පහුවට තේරුම් යනවා. ඒත් ලාංකීය සමාජය ඇතුලේ තවමත් බෙරේ කොහොම හරි ගහන්නම මිසක්, තාලය වෙනස් කරගන්න හෝ ගලවලා පැත්තකට දාලා වෙන බෙරයක් බැඳගන්න තැනට සංස්කෘතිය හැදිල නැති නිසා පිටින් ලස්සනට වාදනය වෙන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. නමුත් පවුලේ සුභ සිද්ධිය උදෙසා ඇය ඒවා දරා ගන්නවා. අම්මලා මේ දේ ප්‍රසිද්ධියේ නොකිව්වත් බොහොමයක් අම්මලාට, කාන්තාවන්ට මේ තත්ත්වය පොදුයි. නිවස ලස්සනට තියාගන්න ඇයමයි උත්සාහ කරන්න ඕනෙ. තමන්ගේ දරුවන්ගේ වගේම ස්වාමියාගේ ආරක්ෂාව පොදුවේ ගත්තහම පවුලේ ආරක්ෂාවත් ඇය පිට. ආරක්ෂාව ගත්තම විවිධාකාරයි. මිදුල, කානුව, ලිඳ, වැසිකිලි-කැසිකිලි, ස්වාමියගේ හා දරුවන්ගේ රෙදි පිලි, ඔවුන්ගේ පෝෂණය, කෑම බීම ආදිය පිලිබඳව ඔවුන්ටත් වඩා වගකීම පැටවෙන්නේ ඇයටයි. දරුවා පාසලට ඇරලන්න, ආයෙත් එක්ක එන්න, දෙමාපිය රැස්වීම වලට සහභාගි වෙන්න, ගමේ සමිති සමාගම්වලට යන්න, ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවන්න යන්න, සතිපොලට ගිහින් ගෙදරට අවශ්‍ය කලමනා ගේන්න. ඒ හැම දෙයක් වෙනුවෙන්ම කැප වුනාම ඇයට ඇය ගැන හිතන්නවත් වෙලාවක් කලාවක් නෑ. අන්තිමේ ඇයට තමයි හැම දේම.

                   ලංකාවෙ කාන්තාවො සෑහෙන ප්‍රමාණයක් සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්න බොහොම කැමතියි වගේම එයාලගෙන් බොහොම සුලු පිරිසක් තමා කාන්තා විමුක්තිය ඕනෙ කියල කියන්නෙත්. ගොඩක් කාන්තාවන් තුල අපේ රටේ පැලපදියම් වෙලා තියෙන සංස්කෘතියත් එක්ක එයාලට කරන්න නියම වෙලා තියෙන වැඩ ටික ගැන උපේක්ෂා සහගතව බලමින් ඒ ටික කරනු විනා නිදහසක් ඉල්ලීමක් ඒ අයට ඕනෙ නෑ. ඒකනේ බෑ නොකියා , වගපල කියන් නැතුව තමන්ගේ දරුවොත් හදල ඒ දරුවන්ගේ දරුවනුත් ඉපදුනාට පස්සේ උනුත් රැක බලාගන්න තරම් ඒ සෙනෙහස උත්තරීතර වෙන්නේ. ඒ අපේ රටේ බෞද්ධාගමත් එක්ක ඈඳුනු සංස්කෘතිය ඇතුලෙ විතරයි මම හිතන්නේ. පිටරටවලදි නම් මේ කියන බැඳිම නෑ. තමන් වෙනුවෙන් තමන්ගේ නිදහස රැක ගන්න, ලස්සන රැක ගන්න  ඒ අය අරගල කරනවා. රටින් රටට ඇවිත් ආසියාවේ රටවලටත් බෝවුනාට පස්සේ තමයි ඒවා අපේ රටටත් එන්නේ.  නමුත් අපේ රට ඒ වගේ සමහර දේවල් ව්‍යාප්තියේදිම අනුකරණය කරන්න ගන්නේ ඒ රටටත් අපේ රටටත් දෙකටම නැති විදිහට. කුටුම්භය කියන තැනදිම කාන්තාවක් අයුතු විදිහට හිරිහැරයට ලක්වෙනව නම්  ඒ බොහෝ විට  නූගත් කම දුප්පත් කම ‍නිසා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක සාධාරණව ඒ ගැටළුවෙන් නිදහස් වෙන්න තරමට දැන් නම් නීති සැකසිලා තියෙන්නේ. රටේ නීතිය ඒකට සම්පූර්ණ ඉඩ දීල තියනවා. එහෙම වෙලත් තවදුරටත් කැමැත්තෙන් විඳවන අය ඉන්නවා නම් ඒකට හේතුව විදිහට සැලකිය හැක්කේ සම්ප්‍රදායික පවුල් රාමුව ඇතුලේ පෙර කියපු සංස්කෘතික නියමයන් ඔස්සේ හිත තුල පුංචි කාලේ ඉඳන් ගොඩ නැගුණු පවුල කියන සංදර්භය තුලට ඒ වෙනුවෙන් කැප වෙන්න ලංකාවේ කාන්තාවගේ තියෙන කැමැත්ත. කලිනුත් කීවා වගේ දරුවෝ  තමයි එතැනදි ඇයව දුර්වල කරන එකම සාධකය.
                   පවුල තුල සැමියාත්,  බිරිඳ හා සමානවම එක වගේ කැප වෙනව නම් ඕනම ගැහැණියකට ජීවිතය කියන එක නැවුම් විදිහට දකින්න පුළුවන්. අස්ස කරත්තෙක ඇවිත් ලස්සන වෙඩිමක් දාලා කැන්දන් ගියාට පස්සේ ජීවන හීනය විවාහයෙන් පස්සෙ දරුවන් හා ස්වාමියා වෙනුවෙන් දිය කරලා හරින්න වෙලා තියෙනවා. කාන්තාව ඉන්නේ මේ දේවල් වෙනුවෙන්, මේවා ඇගේ යුතුකම්, මේ කැපකිරීම් ඇය විසින් කල යුතුයි කියලා අලවපු ලේබල් ටික නිසා නොදැනුවත්වම හරි ඇගේ අයිතිවාසිකම් උදුරගෙන ඒවා ඉටු කරනු පිණිස ඇයව පත්කිරීමෙනුයි සමාජයේ උතුම් තැනකට ඇයව පත්කරලා තියෙන්නේ. පිරිමියෙක් මේවා කරන්න ගත්තම සංස්කෘතිය,පවුල් බැදීම් විනාශ වෙනවා කියන චෝදනාව එල්ල වෙන්නත් පුළුවන්. නමුත් අද සමාජය කොච්චර නම් තරඟකාරීද. නව තාක්ෂණය භාවිත කරන නිසා ‍නගරබද කාන්තාවන් යම්තම් හරි ඉස්පාසුවක් ලබනවා කිවත් ඒක එහෙමමද කියන එක ගැටලුවක්. අපේ අම්මලා වගේ ගම්බද ජීවත් වෙන උදවිය ඔන්න ඔය ආකාරයි. ඇය තුන්සිය හැටපස් දවසෙම සමාජය විසින් තමන්ට දීල තියෙනවයි කියපු ලේබලය නිසා පූජනීය බැඳිම පෙරටු කරගෙන තමන්ගෙ දරුවන් හා සැමියා ඇතුලු කුටුම්භය ආරක්ෂා කරගත යුතු නිසා තමන් ගැන පවා අමතක කරනවා. තමන්ට කියලා ජීවිතයක් ඇයට නෑ.  ආර්ථිකයේ ඇති අඩු ලුහුඬු කම් හේතුවෙන් කාන්තාවත් රස්සාවක් කරන මේ වගේ කාලෙක අර ඉහත කියපු රාමුව ඇතුලේ ගැහැණියව හිර කරලා තිබීම කොයි තරම් දුරට හරිද කියන එකයි කියන්න ඕනෙ වුනේ. කාන්තාවන්ට ඇය මේ හිර වෙලා ඉන්න ක්‍රමය වෙනස් කරගන්න සමාජය විසින් දීල තියෙන විකල්පයන් අඩුයි. එහෙම වෙනස් වෙන්න උත්සාහ දැරුවොත් සමාජය කියන්නේ වෙන වෙන කතා. 

                  මූට මොකද්ද කාන්තා විමුක්තිය ගැන ඔච්චරටම තියෙන අමාරුව කියලා සහ මේක රැඩිකල් කතාවක් කියලා ගල් මුල් වැදෙන්න බැරි කමකුත් නෑ. කීබෝඩ් එකෙන් මේවට උත්තර හොයන්න බෑ තමයි. ඒත් අපට මොකෝ කියල බලං ඉන්න එක අපි හැමදාමත් කරන හින්දා කියවන කෙනෙක්ට කියවලා තේරුම් ගන්න එක්කත් කියලයි දැම්මේ. 




අම්ම කෙනෙක් කොයි වගේද?  වීඩියෝව මෙතනින්

45 comments:

  1. අම්මකෙනෙක් ගැන කියන්න දෙයක් නෑ යාලුවා.... අම්මගෙ ආදරය කියල නිම කරන්න බෑ යාලුව...

    ReplyDelete
    Replies
    1. ඒක හරි සහෝ.. ඒ ආදරේ නිර්වචනය කරන්න බැහැ. ඒ තරම් උත්කෘෂ්ඨයි...ඒ වගේම හැම කාන්තාවක්මත් , ගැහැණියක්මත් තමයි ඒ විදිහට ආදරේ බෙදන අම්මා කෙනෙක් වෙන්නෙත්...

      Delete
  2. අපේ අම්මටත් ඔය ටික ඔය විදිහටම අදාළයි.. මටත් උඹේ ඔය ටික ඔය විදිහටම අදාළයි.. ලිපිය නම් හොදටම දැනුනා.. සුභ දවසක්...

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ දැනුණා කියන්නේ අනිවා උඹත් අම්මට උපරිම විදිහට සලකන කොල්ලෙක් වේවි. මම විතරක් නෙමෙයි මෙහෙම කියන්නේ සහෝ. මම මේක පෝස්ටුවක් විදිහට දැම්මට හැමෝගෙම හිත්වල තමන්ගෙ අම්මා ගැන මේ විදහට සටහනක් තමයි ඇත්තේ...

      Delete
  3. ඉතාමත්ම වටින සටහනක් රතී. ඇත්තටම මවක් දරුවෝ වෙනුවෙන්, තමන්ගෙ සැමියා වෙනුවෙන් කොයි තරම් කැපකිරීම් කරනවද? තමන් කරන දේවල් වෙනුවෙන් කිසිම දෙයක් නැවත බලාපොරොත්තු නොවෙන මේ ලෝකෙ ඉන්න එකම කෙනා අම්මා විතරයි.
    //සෙනෙහස වැඩි දා සිතද බොළඳ වේ..ලොවම ආදරේ කියා සිතේ
    මායාවක් වී එහි තනි වූදා අම්මා පමණයි ළඟ ඉන්නෙ//

    ඇත්තටම කොන්දේසි විරහිතව ඕනම වෙලාවක අපි වෙනුවෙන් ඉන්නෙ අම්මා විතරයි. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ආදරයක් ඇය වෙනුවෙන් අපේ හිත්වල තියෙන්නෙ අපේ මුලු ලෝකෙම අම්මා වටා ගොඩනැගිල තියෙන නිසා වෙන්න ඇති.

    ඔයා ලියපු මේ සටහන් කවදා හරි රතීගෙ අම්ම දැක්කොත් ඇයට ගොඩක් සතුටු හිතේවි... අනිත් වැදගත් දේ තමයි මේ සටහනේ අන්තිමට ඔයා කියල තියෙන දේ. අවසන් ඡේද කීපයේ හිතන්න ගොඩක් දේවල් ඔයා ඉතුරු කරල තියෙනව.

    ඒවගේම අසනීප තත්වය ඉක්මනට සුව වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. හිරු ලියලා තිබුණු එකත් මට කියවගන්න බැරි උනා රති..ඒ තරම් අවුල් ගියා මුල් චේද ටික කියවන එද්දිම...මේකත් ඒ වගේ.. ඔයා කාන්තාවක් විසින් නියෝජනය කරන හැම පැත්ත ගැනම ලියලා තියෙනවා සාවධානව...

      තව පාරක් නිදහසේ කියවන්න ඕනේ... ගොඩක් කාලෙකින් නේද මේ ලියලා තියෙන්නේ ... මම හිතුවේ මගේ රෝලේ ඔයා නැහැ කියලා.. අද තමයි මේ ජීවිතේ පලවෙනි පාරට ඔයාව රෝලේ අප්ඩේට් උනේ...

      Delete
    2. ඇත්ත චම්ස්. අපිව හදන්න විඳින දුක එක්ක තමයි ඒ ආදරේ බැඳිලා තියෙන්නේ. ආදරයට නියම අර්ථයක් දෙන ගමන් ඉහළම කැපකිරීම් ටික කරන්නෙත් අම්ම අතින්. ජීවිතේ අපි එක්ක දුකේදීත් සැපේදීත් ඉන්න එකම කෙනා අම්මා. එයාව සතුටින් තියන එක යුතුකමක් වගකීමක් වගේම කල යුතුම දෙයක්. කිසිම දෙයක් ආපිට ඉල්ලන් නෑ, තමන් සන්තකයේ තියෙන දෙයක් හරි දීලා තමන්ගේ දරුවව සතුටින් තියන්න බලනවා මිසක. ඒකනේ මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට කියන පැරණි කතාවත් එක්ක කියමනකුත් බිහිවෙලා තියෙන්නේ. ස්තුතියි චම්ස්. අසනීපෙ ඉක්මනට හොද වෙන්න බෙහෙත් වගේම නම් මීට වඩා මේ ස්ට්‍රෙස් එක අඩු වෙන්න ඕනෙ වගේම පොඩි නිදහසකුත් ඕනෙ චම්ස්. අසණීපෙට ඕනෙ විදිහට කරගෙන යන්න දීල තියෙන්නේ මම...හෙහේ

      Delete
  4. වැරදීමකින් මෙය චම්ස්ගේ කමෙන්ට් එකත් එක්ක වැටුණා..

    ReplyDelete
    Replies
    1. අයියෝ කමක් නෑ සහන්. හිරු ගේ පෝස්ටුවත් මම කියෙව්වා. එකෙත් අම්මා ගැන හොඳටම ලියලා තිබුනා. නෑ ඉතින් මම මේ මාසෙට දාන දෙවෙනි පෝස්ටුව. ස්තුතියි සහන් ආවට මේ ඉසව්වේ..

      Delete
  5. /// අපි හැමෝම කාලා ඉවර වුනාම තමයි අම්මා බත් බෙදා ගන්නේ. අම්ම කන්නේ කුස්සියේ පුටුවක හරි වංගෙඩියේ හරි ඉඳගෙන. අම්මා හැමදම අපි හැමෝටම බත් බෙදල දීලා අපි දෙපාරක් කාලා බත් ඉවරවුනාම සමහර දවස්වලට බඩගින්නෙත් ඉන්න ඇති////

    රතී.......මේ ඉන්නේ මගේ අම්මා.......වැඩිමහල් මාව ඔබ ඇඬෙව්වා..

    ReplyDelete
    Replies
    1. එහෙමද? එහෙනම් දැනිලා හොඳටම පෝස්ටුව. ඇත්තටම අම්මා බඩගින්නේ ඉන්න ඇති කියලා ඒ දවස්වල ගානක් වුනේ නැතත් දැන් හිතෙනවා. මොකද අම්මා ඒ තරම්ම තමන්ගේ දරුවන්ට ආදරේ කලා. තාමත් එහෙමයි. හැමෝගෙම මව්වරු ඔය විදිහ තමයි. බොහොම සතුටුයි මේ පැත්තේ ආවට...

      Delete
  6. හරිම අපූරුවට ලියලා.. අම්මලගේ සෙනෙහස ගැන හරි හැටි ලියන්න කටවත් බැරි වේවි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්. එහෙම ලියන්න බැරි වුනාට හැමෝටම ඒ සෙනෙහස ගැන කියන්න පුලුවන් වේවි...

      Delete
  7. හැම දරුවෙක්ටම තමන්ගෙ අම්මා ලෝකෙ ඉන්න හොදම අම්මා...අම්මා ගැන තැබූ මේ සටහනම ඇය කෙරේ ඔබේ හදේ ගැඹුරුම තැන ඇති ආදරය පාඨක අපට පසක් කරනවා...හැමදාම දේශපාලනමය සිදුවීම් අරභයා ලිපි ලියනවාට වඩා මෙවැනි සරල යමක් ලියනවා නම් මම පුද්ගලිකව ඉතාමත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කුඩා කල ඉඳන් එන තමන්ට අන්‍ය වෙච්ච ඒ බැඳිම තුල තමන්ගේ අම්මා තමයි හොඳම අම්මා වෙන්නේ. ඒක නොවෙනස් එකක්. මගෙ ජීවිතේ වැඩි හරියක්ම තිබුනේ අම්මගෙ ආදරේ. ඒක තාමත් නොවෙනස්. මම දැන් ලොකුයි කියලා ඒ හෙවුම් බැලුම් තාමත් අඩු වෙලා නෑ. මට දේශපාලනේ ගැන ලිපි ලිවීම තබා දේශපාලනෙත් අරහං සහෝ...ස්තුතියි සිරා

      Delete
  8. සිරාම කතාවක් මචන් .... අපේ ජීවිතවල තියන ගොඩක් දේවල් වලට අම්ම සාදකය බලපානවා...අපි මුලදීම අම්ම කියන වෙලේ ඉඳන් ඉගෙනගෙන සමාජයට ගියාමත් ඔය අම්මගේ ආදරය නොඅඩුව ලැබුන නොලැබුන වෙනසක් දකින්න ලැබෙනවා.මට නම් එහෙම වෙනසක් දකින්න ලැබිල තියනව ///

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කවුරුන් හෝ හොඳ හෝ නරක ගතිගුණ මුලින්ම ඉගෙන ගන්නේ අම්මගෙන් ලැබෙන ආභාෂයෙන්. අම්ම කියන සාධකය ඒ තරම්ම ජීවිතේ ගැඹුරටම ගිහින් සොයාගත යුතු වැදගත් ලස්සන කියවීමක්.

      Delete
  9. ඔය කියල තියෙන්නෙ කාන්තාවකගේ හොද පැත්ත - මම - ඔයා දැක්ක - දකින විදිහ .
    ______________
    ඉපදුනු ගමන් ලමයින්ව ගගට දාන - පනපිටින් වල දාන - සත්තුන්ට කන්න දාලයන - පාරෙ දාල යන - අම්මල ගැන නෙමේ නෙ . (එහෙම අයත් ඉන්නවා)
    ______________
    මිනිහ රට ඉද්දි හම්බකරන සල්ලි වලින් හොර මිනිස්සු එක්ක රවුම් ගහන - පැනල යන හා අනියම් සම්බන්ධ නිසා දරුවොනුත් ජීවිතෙන් වන්දි ගෙවපු (ගැනු ගැනත් නෙමේ නේ)
    ______________
    ඒ නිසාම ලිපිය සාර්ථකයි
    ජය !!

    ReplyDelete
    Replies
    1. උදා -
      http://gossipelankanews.com/news_more.php?id=2063#.Ukxd1IZkPGB

      Delete
    2. ඔය මචං උඹ හරි ඒ කාරණාවෙදි. මොකද වර්තමානයේදි ඒ විදිහට දේවල් සිද්ධ වෙන ප්‍රමාණයෙත් ලොකු වැඩිවීමක් තියෙනවා. නමුත් සහෝ කාන්තාවන් සියයක් ගත්තොත් ඒකෙන් ගොඩක් සුලු ප්‍රතිශතයක් තමයි ඒ ගණයට වැටෙන්නේ. ගැහැණිය කියන වචනයට තරම්වත් නොවටින්නේ එහෙම සුලු පිරිසක්. මම කීවේ බහුතරයක් කාන්තාවෝ මෙහෙමයි කියන එකයි. තමන්ගෙ ලෙයින් දරුවෙක් ලැබුනාම ඒ දරුවට ආදරේ නොකර තමන්ගේ ආශාවන්ට වහල් වෙලා දරුවටත් යන එන මං නැති කරන්නේ එහෙමත් ගැහැණියක්. ඒ අයට ඔයා කීව වගේ අම්ම කෙනෙක්ගෙ බිරිඳක්ගෙ තැනක් ගන්න බෑ කවදාවත්ම.

      Delete
  10. මම හිතන්නේ අද තමයි පළමුවැනි වරට මේ පැත්තට ආවේ. මව් සෙනෙහසත් හරියට බුදුගුණ වගේ. කියලා ලියලා ඉවර කරන්න බැහැ. අපි ආත්මයෙන් ආත්මයට අරන් යන මතකයක් වගේ.

    මගේ අම්මා පාසල් ගුරුවරියක්. ඔබ කියන ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇයටත් පිහිටා තිබුණා. මට වයස අවුරුදු අටක් දහයක් විතර කාලේ, දවසක් අම්මා බිම පැදුරක් එලාගෙන රෙද්දක් කපමින් හිටියා මොකක් හෝ ඇඳුමක් මහන්න. (මේසයක් නැහැ ඒ කාලේ අපිට වත්කමක් නැති නිසා ඒ තරම්) මම මොකක් හෝ ඉල්ලීමක් කරා, මොකක්හරි අරන්දෙන්න වගේ ඉල්ලීමක්. නමුත් අම්ම එය ප්‍රතික්ෂේප කළා. මම අර අම්මා කප කපා හිටිය රෙද්දෙන් එක වරම ඇද්දා. රෙද්දේ කතුරට අසුවී තිබුන තැනින් ඉරීගියා. අම්මාගේ කෝපය ඇවිස්සුනු බව දැනගත් මා පැන දිව්වා. නමුත් අම්මා මට කතුරෙන් දමා ගැසුවා. කතුර සිමෙන්ති පොලොව දිගේ ඊ තලයක් මෙන් පැමිණ මගේ එක කකුලක විලුඹේ ඇණුනා. මම කතුරත් ඇදගෙනම දිව්වා. අම්මා මහා විලාපයක් තියාගෙන දුවගෙන ඇවිත් මාව අල්ලාගෙන ගමටම ඇහෙන්න කෑගැහුවා. ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දැම්මා. අදනම් මානව හිමිකම් නඩුවක් නේද?

    ReplyDelete
  11. ඔබ කීව සිදුවීම ක්ෂණයකින් මගේ හිතේ මැවුනා. ඒ අම්මගේ හිතේ නොමැඩගත හැකි තරහවක් ක්ෂණයකින් ඇති වෙන්න ඇති. නමුත් බලන්න එතනදි ඒ වහාම ඇයගේ හිත උණු වෙලා තමන්ගේ තරහවෙන් උනු වරදට කම්පා උනු හැටි. ඇය බලාපොරොත්තු වුනේ නෑ ඒකෙන් දරුවට හානියක් වෙයි කියලා. ඒ වෙලාවේ අම්මගෙ හිත කියවන්න පුලුවන් උනා නම් ඔබේ කකුලේ අර කතුර ඇනිලා හැදුන තුවාලයට වඩා ඇගේ හිතේ ඇති වෙලා තියෙන තුවාලය දකින්න පුලුවන් කම තියෙන්න ඇති. අම්මගේ ආදරේ සාංසාරිකව අපිත් එක්ක යන ආදාරයක්. ඒක මේ ලෝකෙ කිසිම දෙයකට මෙන්න මේ යැයි උපමා කරලා පෙන්වන්න බැහැ. බොහොම ස්තුතියි මේ ඉසව්වට ආවට.

    ReplyDelete
  12. කියන්න බැරිතරම් සංවේදීව හිතට දැනුණා...ඔයාගේ හැම වචනයක්ම ඇත්ත කියලා තමයි මගේ හැඟීම.මටත් කියන්න තියෙන්නේ මේක ඉවර කරන්න බැරි කතන්දරයක් කියලා..අම්මලා කියන්නේ නම් පුදුම හිතෙන තරම් කැපවීමක් කරන අය..

    කියන්න කණගාටුයි.... මගේ අම්මාගේ උණුහුමේ රැකවරණයේ ඉන්න මට වාසනාවක් නැති උනා..

    ReplyDelete
  13. ඇත්තෙන්ම රෙහානි ඒක වචන දාහකින්වත් කියල නිම කරන්න බැරි ආදරයක්. ඇත්තටම මට කණගාටුයි රෙහානි. අම්මා කෙනෙක්ගේ ආදරය නැතුව යනව කියන එක තුල ජීවිතේ ගෙනියන විදිහ මට නම් හිතාගන්නවත් බෑ. නමුත් ඔයා හොඳ තේරුමක් දේවි තමන්ගෙ ජීවිතේද අම්මා කියන වචනෙට ඒ උණුහුම ලබන්න පින් කරලා නැති වුනත්....

    ReplyDelete
  14. ඉක්මනින්ම අසනීප ගතිය සුවපත් වේවා!.
    අම්මා ගැන කොපමණ ගුණ වැයුවත් නිමක් දකින්න බෑ රතී. මම විවාහ වෙලා ඊයෙට අවුරුදු විසි නවයක්. මටත් දැන් මුණුබුරෙක් ඉන්නවා. ඒ උනත් මගෙ අම්මා අදටත් මා ගැන සොයා බලනවා. කෑවද? කියල අදටත් කෝල් කරලා අහනවා. මා ලැබූ ලොකුම වාසනාව හොඳ දෙමාපියන් සහ හොඳ මහත්තයෙක් ලැබීම කියල මම හිතනවා. මගේ ජීවිතේ සාර්ථකත්වය රැඳුනෙත් ඒ මත. මගේ දරුවන් ගැන අදටත් සොයා බලන්න මම හුරු උනෙත් ඒ ආදර්ශයෙන් වෙන්න ඇති. මම පුතාලා පුංචිකාලෙ සාම්ප්‍රදායික අම්මෙක්. රැකියාවක් කලේ නෑ. එයාලා සමඟම ජීවිතේ ගෙව්වා. අද ඒ ගැන සතුටුයි. දරුවෙකුට ආදරේ රැකවරණය අවශ්‍යම කාලෙ ඒ දේ නොඅඩුවම දෙන්න පුලුවන් උනා. රැකියාවක් කරන මව්වරුන් අවතක්සේරු නොකොට ඇයට සහයවීම දැන් හැදෙන පුතාලට කියන්න ඕනෙ. ඒ කාලෙ වගේ දැන් රැකියා විරහිතව ඉන්න අමාරුයිනෙ. ඒ නිසා ඒ සහාය නැතිව දරුවන් හදාගෙන සමබරව ජීවිතේ ගෙනියන්න ඇයට ශක්තියක් ඕනෙ. අයිතිවාසිකම් කියලා කෑගසන්නට කලින් අම්මාගේ, ගැහැණියකගේ සමාජීය වටිනාකම හඳුනා ගෙන කටයුතු කරන්නට දුවලා හිතාගන්නට ඕනෙ. ඒ දේ හරියට තේරුම් ගෙන කටයුතු කලාම සමාජයෙන් ඔබට ඒ ගරුත්වය ඉබේම ලැබේවි.
    පහුගිය සතියේ දුවක් අපේ පෙර පාසැලට ගෙනාවා ආත්තම්මා. ඇයගේ අම්මා ඇය හැර ගොසින්. ඇය අනාචාරයේ හැසිරුන වරදට පියා විසින් දික්කසාද කරලා. මේ වාගේ දේවල් නිසා මුලු සමාජයම පිරිහෙන බව සිතන්න ඕනෙ.
    මේ වීඩියෝ පටය හරිම සංවේදියි. ස්තූතියි සටහනට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔබතුමියගේ අදහස්වලට. වටිනා අදහස් ටිකක් ඔබේ ජීවිතය මගින් උදාහරණයට ගෙනහැර දක්වලා තිබීම නම් ප්‍රශංසනීයයි. අම්මගෙන් ඒ ලැබුණු අදාරය සහ රැකවරණය මත ඔබේ ජීවිතයට එයින් සාර්ථකත්වයේ අඩිතාලම දමාගත්ත කීවම එතනින්ම ඒ ආදරය කොච්චරක්දැයි ප්‍රකට වෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. අපේ අම්මා කැමති නෑ වගේමස වෙලාවකට එපාත් කියනවා අපි එහෙම උදව් පදව් කරන්න ගියාම. උඹල පාඩම් වැඩ කරන්ඩ ඕනෑ. මේ වැඩ මට තනියම පුලුවනි කියලා ඈ කීවාට අපේ යුතුකමක් වෙන්න ඕනෙ, අපි වෙනුවෙන් හැම දෙයක්ම කරන ඇයගෙ වැඩ පහසු කරන එක. මහලොකු උදව් නෙමෙයි උයන වෙලාවට ඒ වැඩට, අතුපතු ගාන්න ගියාම එහෙම. පුංචි කාලෙ ඉඳන් පුරැදු නොකරොත් ඒවට හුරු වෙන් නැති බව අම්මට කොච්චර කීවත් වටහාගන්නෙ නැති අවස්ථා තියෙනවා. //අයිතිවාසිකම් කියලා කෑගසන්නට කලින් අම්මාගේ, ගැහැණියකගේ සමාජීය වටිනාකම හඳුනා ගෙන කටයුතු කරන්නට දුවලා හිතාගන්නට ඕනෙ. ඒ දේ හරියට තේරුම් ගෙන කටයුතු කලාම සමාජයෙන් ඔබට ඒ ගරුත්වය ඉබේම ලැබේවි. // ඒ අදහසට මම එකගයි. හරි විදිහට හැදුනොත් තමන්ට ලැබෙන දේ කොහොම කවදහරි ලැබෙනවා. අර අවසානෙට කියලා තියෙනව වගේ තමන්ගේ පවුල් සංස්ථාව ගැන නොහිතන එකෙන් තමයි අර තවත් ඒ වගේම විනයෙන් පිරිහුණු, වැරදි මාවතේ යන දරැවන් දායාද වෙන්නේ...

      Delete
  15. ධම්මිකා ශ්‍යාමලි එගොඩපිටියOctober 5, 2013 at 5:09 PM

    සම්පූර්ණ ඇත්ත රතී ඔයා කියල තියෙන්නේ. අම්ම ගැන කියල තියෙන අදහසට සම්පුරුණයෙන්ම එකඟය මම. අපිම තමයි කවදහරි අම්මල වෙන්නෙත් ඔයා විදිහට හිතන පිරිමි අය සමාජයේ ගොඩක් අඩුයි. කාන්තාවට, බිරිඳට කියල තමන්ගේ වැඩ ටික කරගන්න එක ගැන මිසක් ගැහැණියගේ ඕනැ එපාකම් තමන් විසින්ම සපයා ගන්නව විනා ඒවා පිරිමි අතින් ඉටු වෙනවා අඩුයි. ඇඳෙන් නැගිටින්නෙවත් නැතුව උයන්න උදව්වක් ඕනෙද කියල අහනවට වඩා බිරිඳට පස්සේ හරි නැගිටල අහන් නැතුව පොල් ටිකක් හරි ගාලා දෙනව නම් ඒ පිරිමියා කොච්චර වටිනවද. මොකද බිරිඳයි ස්වාමියයි දෙන්නම රැකියා කරද්දි ඒක එයාගෙ වගකීම කියලා එක්කෙනෙක් ට විතරක් බර දීල ඉන්න එක නරකයි. ඒ වුනාට ලංකාවේ ගොඩක් පිරිමි කරන්නෙමත් ඕකමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...දැන් තියෙන ආර්ථික තත්වෙත් එක්ක ජීවත් වීම සඳහා බිරිඳත් රැකියාවක නිහැලෙන විටදි දෙදෙනාම තමන් ගැන හොඳ අවබෝධයකින් ජීවිතේ ගෙනියන්න ඕන. නැත්නම් දෙන්නම හවස් වෙලා එන්නේ stress පිට නිසා තම තමන්ගේ පීඩනය අනෙකා මතින් යනන් තියෙන අවස්ථාව වැඩියි. අන්‍යෙන්‍ය අවබෝධය තමයි එතනට ගැලපෙන හොඳම බෙහෙත...

      Delete
  16. අම්මා ගැන ලියවුන අපූරු සටහනක් වගේම , සමස්ථයක් විදියට කාන්තාව කියන චරිතය තුළ ඇයගේ මවක ලෙද වු වගකිම ගැන අරුත් පිරි විවරණයක්. 90% ක් අම්මලා ඒවගේ අය වුණත් සුලු පිරිසක් එවැනි පදවියක් ලබන්නට පිංකර නැහැ. ඒ නිසාම ඔවුන්ට මවකගේ ගුණ සුවඳ දැනෙන්නේ නැ.

    මවකට ඕනෙම පීඩනයක් දුකක් කරදරයක් දරාගන්න හැකි වුනත් පියවරුන්ට හෝ පිරිමින්ට ඒ හැකියාව නැ.

    ස්තූතියි අස්වැන්න ගැනත් සටහනක් කලාට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ...ඔයා හරි..කිහිප දෙනෙක් කාන්තාවෝ - බිරිඳ, මව කියන වදන් වලට අර්ථයක් සපයන්න තරම් වාසනාවන්ත අය නොවෙයි. නමුත් ලාංකීය සංස්කෘතියත් එක්ක ආගමික සංහිඳියාව එක් අහු වුනාම ගොඩ නැගෙන යහපත් පවුල් සංස්ථාව තාමත් ලංකාවේ තියෙන බැවින් බහුතරයක් කාන්තාවෝ අර කියපු කාන්තාව, බිරිඳ, මව කියන චරිතවලට සාධාරණයක් කරනවා..ස්තුතියි අදහසට..

      Delete
  17. රති..මේක හරිම පට්ට ගහපු කොමෙන්ටුවක් වෙන්න පුලුවන්...ඒත්, තමන්ගේ බිරින්දැ අම්මා කෙනෙක් උනාට පස්සේ, තමන්ගේ අම්මා ගැන, වගේම පියා ගැන ඇතිවෙන හැගීම් වෙනස් වෙනවා නොහිතන විදියට

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න තාම ඉක්මන් වැඩියි. ඒත් ඒක එහෙම වෙන්න ඇති කියලත් වෙලාවකටහිතෙන්නේ මුණුබුරෝ එයාලගේ ආච්චිලාට සලකන හා ආදරේ කරන තරම් එයාලගේ දරුවෝ සලකන්නේ සහ ආදරය දක්වන්නේ නැ කියන එක මාත් දැකලා තියෙනවා. මම පතන්නේ මට නම් එහෙම නොවේවා කියලා...

      Delete
  18. ලිපිය එක හුස්මට කියවන් ගියා....රතී, අම්මා කියන වචනය මතක් කරද්දිත් මගේ හදවත ගැහෙනවා කියලා මට දැනෙනවා.අම්මා ගැන කවදාවත් කතා කරලවත් ලියලවත් ඉවර කරන්න බැරි වේවි.ඒ අපිරිමිත මව් සෙනෙහසට සම කරන්න මේ ලෝකයේ කිසිම දේකට බැරි වේවි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ශානු. කියල ඉවර කරන්න බැරි මහමෙරක් තරම් ආදරයක් ඒක. පවුලේ අයගෙන් ඈත්වෙලා ඉද්දි තමයි ගොඩක්ම වැටහීමක් එන්නේ ඒ ආදරේ ගැන. අපේ හදවත් වල කියන්න බැරි විදිහේ ඇතුලතින් එන ඒ හැඟිම මම හිතන්නේ ආදරයත්, සෙනෙහසත් එක්වෙලා එන කියන්න බැරි හැඟීමක්.අපි මේ ගෙවන හැම දිනයක්ම ඇය නිසා ගෙවන දිනයක්. අපි හැමෝටම කලින් අවදි වෙන ඇය විඩාව හරින්නේ හැමෝම නින්දට ගියාටත් පස්සේ . ඇගේ හිතේ තියෙන හැගිම් දැනීම් අපිට තේරුම නොයන්නේ ඇය ඒ තමන්ගේ බැරි අමාරුකම් ගැන කතා නොකර දරුවන් ගැනම පමණක් කතා බහ කරන නිසාවෙන්.බොහොම ස්තුතියි ඔයාටත් මේ පැත්තේ ආවට.

      Delete
  19. ඹටත් උබට විදියටම දැනෙනව බං තනියම බොඩිං කාමරේට වෙලා ඉන්න කොට....
    මොනව කරන්නද ඉතින් අපි ආස කරන දේවල් අපේ ජීවිතයට ඒ විදිටයම හම්බවෙන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒක හරි සහෝ. නුවන් කාලෙකින් මේ පැත්තෙ ආවේ. කැමති දේවල් ඒ විදිහටම අපිට ලඟා කරගන්න පුලුවන් නම් ලෝකෙ විඳවීම් නැති ලස්සන එකක් වේවි. මුදල් පස්සෙයි, අධ්‍යාපනය වෙනුවෙනුයි, තමන්ගේ පවුල වෙනුවෙනුයි ජීවිතෙන් වැඩි කොටහක් වැය වෙද්දි ඒ ජීවිතේ හදල දෙන්න දුක් විඳපු ඇයව අමතක වෙන්නේ නොදැනුවත්වම...උඹ කොළඹ රටේ ඉඳන් ගෙදර යන්නෙත් කලාතුරකින් නෙව, වැඩ අස්සෙම හිරවෙලා ඉඳලා. දවසකට පාරක්වත් කතා කරනව නම් ඒ අයගේ හිතට ලොකු සතුටක් මචෝ ඒක.

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. >> ලංකාවෙ කාන්තාවො සෑහෙන ප්‍රමාණයක් සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්න බොහොම කැමතියි වගේම එයාලගෙන් බොහොම සුලු පිරිසක් තමා කාන්තා විමුක්තිය ඕනෙ කියල කියන්නෙත්>>.

    මේ කතාව නම් සහතික ඇත්ත..අදමයි මේ පැත්තේ ආවේ. ආයෙත් එන්නම්. සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව්. අපේ අම්මලා වගේ උදවිය ගොඩක්ම කැමති වැඩි විච්චූර්ණ නැතුව දරුවනුත් එක්ක සාමකාමි ජීවිතයක් ගෙවන්නයි. දැන් ඉස්සර වගේ නොවෙයි. ඒ සාම්ප්‍රදායික ජීවිතය ගෙවෙන්නේ ඇයගේ කැමැත්ත මත නම් ඒක හොඳ ප්‍රවණතාවයක්. නමුත් වෙන්නේ එය නොවෙයි නම් දැන් විවිධ කෝන වලින් ප්‍රශ්න දෙස විමසා බලන්න හැකියාව තියෙනවා. ලංකාවේ ගැහැණියට වහල්බවින් තොරව දෙපයින් ඉන්න හැදුණු නීති රාමුවකුත් තියෙනවා. තවත් එකක් තමයි කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න, මේ පිට ඔපයෙන් වැසුණු තිර ඇරලා අපේ සංස්කෘතික සීමාව තුල සාකච්ඡාවට බඳුන් කල යුතුයි කියන එකයි මගේ හැඟීම. බොහොම ස්තුතියි ඔයාටත් මේ පැත්තේ ආවට...

      Delete
  22. නියම විග්‍රහයක්. කාන්තා විමුක්තිය කෙසේ වෙතත් ඔබ විසින් ඉදිරිපත් කරන හරය ඉතාමත් වැදගත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කාන්තා විමුක්තිය කියන වචනය එක් එක් කාන්තාවන් වෙනුවෙන් ගත්විට විවිධ හැඩයන් සහ මානයන් තියෙනවා. කාන්තාවන් කොටසක් ගත්තොත් ඔවුන් තමන්ට සමාජයෙන් සහ පිරිමින්ගෙන් සිදුවන නොයෙක් ගැහැට නිසා තමන්ට මෙන්න මේ නිදහස ඕනෙ, මේ විදිහට අපිට ජීවත් වෙන්න ඕනෙ කියලා කියනවා. ඒකත් කාන්තාවන්ට අවශ්‍ය විදිහේ නිදහසක් කාන්තා විමුක්තිය කියන වචනය ඉස්සරහට දාලා කරන්නක්. අපේ අම්මලා වගේ අය ගැන ගත්තොත් ගැමි ගැහැනියක් විදිහට තමන් විසින්ම තමන් ගැනවත් නොසිතා තමන්ගේ දරුවන්ගේ ඕනෑ එපා කම් ඉෂ්ට කිරීමින් තමන්ගේ පවුල හොඳින් බලාගන්න එක තමා ඇගේ විමුක්තිය වෙන්නේ. එතකොට ඒක ඇයට අදාලව බැලුවොත් ඇගේ විමුක්තිය ඒක තමා...

      Delete
  23. මං 200වෙනි ෆලෝවර් !

    ReplyDelete
    Replies
    1. Thanks සහෝ මාව follow පාරක් දැම්මට...

      Delete
  24. කොච්චර ලිව්වත් ලියල ඉවරකරගන්න බැරි දෙයක් සහ තේරුම් ගෙන ඉවරකරන්න බැරි දෙයක් තමයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං... ඒ ආදරේ විතරමයි ජිවිතේ තියෙනකම්ම වෙනස් නොවී එකම ආකාරයට ලැබෙන ආදරය...

      Delete