Friday, March 31, 2017

දැනගෙන කරුණා කරමු සිරිපා...

     
     
 කවුරුත් දන්නවා මේ කාලය ශ්‍රී පාද වන්දනා සමය කියලා. ඔන්න ඉතින් මේ සිරිපා වාරේ ඔෆිස්වල පුටුවල ඉඳගෙන වැඩටම ඇලිලා හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැතිව ඉන්න උදවියට පුටුවල ඉඳගෙනම සිරිපා කරුණාවත් එක්ක ඒකාත්මික වෙන්න අවස්ථාවක් දෙන්නයි මේ සුදානම් වෙන්නේ. අපි නම් සිරිපා කරුණා කලේ මේ මාර්තු මාසේ මුල සතියෙදි. මේ ලිපිය කියවන ගොඩක් දෙනෙක් සිරිපා කරුණා කරපු අය කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ආගිය විස්තර කියන්නේ නැතුව සිරිපා කරුණාවේ වැදගත්කම ගැන සවිස්තරාත්මකව කියන්නටයි බලාපොරොත්තුව. ඉතින් මම හිතනවා මේ ලිපිය සිරිපා කරුණා කරපු නොකරපු හැමෝටම වැදගත් වේවි කියලා.
     අපේ මේ මධ්‍යම කඳුකරය කියන්නේ මහ විශාල කඳු වැටි රැසකින් අලංකාරවත් හා ප්‍රතාපවත්ම වැජඹෙන ප්‍රදේශයක්. මධ්‍යම කඳුකරයේ ශ්‍රී ලංකාවේ සොබා අසිරිය තව තවත් වැඩි දියුණු කරනවා. මේ අතරින් මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රීක්කයටත් සබරගමු පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රීක්ක වලටත් මායිම්ව දික් කඳුවැටියක් පිහිටලා තියෙනවා. නමින් සමනල කන්ද වන මේ කඳු පංතිය පින්නවල, රාස්සගල, මඩිත්ත පොල, ගිලිමලේ, පළාත්බත්දල, කැකුනෙහින්න, එරත්න වැනි සුන්දර ගම්මාන වලට මැදිව නැගෙනහිර සිට බස්නාහිර දෙසටත් බස්නාහිර දෙස සිට වයඹ දෙසටත් විහිදෙන්නේ අඩක් වක් වූ හැඩයක් ගනිමින්. උසින් මීටර් දෙදහසකට වඩා වැඩි උසකින් යුතු වන සමනල කන්ද සිරිලක කඳුවැටි අතරේ හතර වැනි තැන ගන්නවා.
     

      මෙය ශ්‍රී ලංකාවේ සියලුම කඳුවැටි අතරින් එය අති සුවිශේෂී වන්නේ ඒ උස් කඳු ශිඛරය මත ‍ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවා ඇති නිසාවෙන්. මේ හේතුව නිසා දෙවිවරුන්ද, රාජ ප්‍රසාදින්ගෙන්ද, දේශ ගවේශකයන්ගෙන්ද, ඉතිහාසඥයන්ගෙන්ද විවිධ ජාතීන්ට අයත් වන්දනා කරුවන්ගෙන්ද සමනල කන්ද වැඳුම් පිදුම් ලබනවා. ඔබ දන්නවාද සමනළ අඩවිය තියෙන්නේ අභය භූමියක් කියලා. නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල යන දිස්ත්‍රීක්ක තුන පුරා විහිදි යන මෙම අභය භූමිය අක්කර 56000 ක වපසරියක් පුරා පැතිරෙනවා. ඒවගේම මෙය අභය භූමියක් ලෙස නම්කරලා තියෙන්නේ 1940 වසරේදී.
     ඒ වගේම සමනළ අඩවිය ලංකාවේ අනෙකුත් අභය භූමි අතරින් සුවිශේෂී වෙන්න හේතු තිබෙනවා. එයින් ප්‍රධාන හේතුව මේ අභය භූමියේ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවා තිබීමයි. ඒවගේම තමයි සෝමාවතී චෛත්‍ය, සිතුල්පව්ව, මඩු දේවස්ථානයද අභය භූමි මධ්‍යයේ පිහිටා තිබුණෙත් වසරක් පාසා මහා ජන ගඟක් ගලායන්නේ සමනල අඩවිය හරහා පමණයි. මේ සිරිපාද වඳින්න යන කාලේ දහස් ගණන් වන්දනාකරුවෝ විවිධ මාර්ග යොදාගනිමින් සිරිපාමලුවට ගොඩවෙන්නේ ඉතාමත් ශ්‍රද්ධාවෙන්. සමනල අඩවිය කියන්නේ අභය භූමියක් නිසාවෙන් ශ්‍රීලංකාවේ තිබෙන ප්‍රධාන ජල පෝෂක කලාපයන්වලත්,  ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සතුන් රැසකගේ වාසස්ථානයක් විදියටත් සමනල අඩවි අභය භූමිය හදුන්වන්න පුලුවන්. සමනළ කන්ද කොහොමද ශ්‍රී පාදස්ථානය උනේ? 
      බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩමකලා කියලා ඔයාලා දන්නවානේ. බුදුන්ගේ පළමු ලංකා ගමනය සිදුවුණේ රුහුණේ මහවැලි ගඟ අසල පිහිටි මහියංගනයට. මේ පළමු ලංකා ගමනයට හේතු උනේ යක්ෂ ගෝත්‍රිකයන් අතර වු අරගලයක්. එය සන්සිඳුවන්නට බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩි අවස්ථාවේ එතැනට සුමන සමන් දිව්‍යරාජයා වැඩියා. ඔහු ප්‍රාදේශිය පාලකයෙක් විදිහටයි හැදින්වුණේ. සුමන සමන් දෙවියෝ බුදුන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත්වුණා. එතුමන් තමයි ලක්දිව ප්‍රථම මාර්ගඵල ලාභී උපාසකයා. බුදුන් වහන්සේ තෙවන වරට ලංකාවට වැඩි සමයේ සමන් දෙවිඳුන් උන්වහන්සේට තමන්ගේ වාස භූමිය වන සමනළ කන්දට වඩින ලෙස ආරාධනා කලා. උන් වහන්සේ එය පිළිගෙන සමනළ කන්දට වැඩලා එහි වු ඉන්ද්‍රනීල මාණික්‍යයේ ශ්‍රීපාද ලාංඡනය පිහිටෙව්වා. ඊට පස්සේ තමයි සමනළ කන්ද ශ්‍රීපාදය නමින් හඳුන්වන්න ගත්තේ.
     උඳුවප් පොහොය උදාවෙනවාත් එක්කම සිරිපාද වන්දනාව ආරම්භ වෙනවා. කවුරුත් මේ කාලෙට කියන්නේ වාරේ කියලා. වාරෙට වන්දනාකරුවෝ ලක්ෂ ගණන් සිරිපාදය වදින්න යනවා. මේ වන්දනා කාලය වෙසක් පොහොයෙන් අවසන් වෙනවා. අද වගේම ඒ කාලෙත් ලක්ෂ ගණන් වන්දනාකරුවන් සිරිපාදය වැඳ පුදා ගන්න ගියා. ඒත් අද තියෙන පහසුකම් එදා ඒ වන්දනාකරුවන්ට තිබුණේ නෑ. එදා මිනිස්සු තමන්ට අයිති දේපල වස්තුව ලැබිය යුතු අයට පවරලා සිරිපා කරුණා කරන්න ගියා. ඒ තරම්ම කටුක දුෂ්කර ගමනකිනුයි සිරිපාදේ වදින්න යන්න වුණේ. සතාසිව්පාවන්ගෙන් අනතුරු වලටත් ලක්වෙන්න වුණා. ඒ වගේම ඒ කාලේ අද වාගේ පරවල් කපලා, පඩි පෙලවල්, අත් වැටවල් හරිගස්සලා තිබුණේ නෑ. ඒ කාලේ හුගක් වෙලාවට යකඩ දන්වැල් වල එල්ලිලා තමයි සිරිපා වදින්න ගියේ. ඒ කාලේ වන්දනා කරුවෝ තමන්ගේ ජීවිතයත් අනතුරේ බව දැන දැනම සිරිපා වදින්න ගියේ බුදුන් වහන්සේගේ ගැන ධර්මය ගැන තිබුණු ශ්‍රද්ධාව නිසයි. ඒ කාලේ සිරිපාදය තරණය කරන්න භාවිතා කරපු දම්වැල් අදත් තැනින් තැන දකින්නට පුළුවන්. සිරිපා මලුවට ලඟා වෙන්න දැනට පාරවල් 7 ක් හොයාගෙන තියෙනවා.

ඒවා තමයි,

1. හැටන් මාර්ගය හෙවත් නල්ලතන්නිය මාර්ගය.
2. රත්නපුර පළාබත්දල මාර්ගය.
3. කුරුවිට මාර්ගය.
4. දෙනෙකන්ද හෙවත් මුක්කුවත්ත මාර්ගය.
5. මරේවත්ත මාර්ගය හෙවත් රාජමලේ මාර්ගය.
6. දැරණියගල මාර්ගය හෙවත් මාලිබොඩ මාර්ගය.
7. ගවරවිල මස්කෙලිය මාර්ගය.





    මේ මාර්ග 7 න් ජනප්‍රියම මාර්ගය හැටන්, රත්නපුර සහ කුරුවිට යන මාර්ගයි.  මේ අතරිනුත් වඩාත්ම ජනප්‍රිය හැටන් මාර්ගය. ඒකට හේතුව කෙටිදුර හා අඩු උස. ඒවගේම විදුලිය, ජලය ඇතුලු පහසුකම් සහිත වීම. ඒත් මලුවට නගින්න කෙටිම මාර්ගය මරේවත්ත මාර්ගය. ඒත් පහසුකම් අඩුකම නිසා මේ මාර්ගය භාවිතා කරන්නේ අඩුවෙන්. සිරිපාදේ වදින්න යන්න මාර්ග 7 ක් තියෙනවානේ. රත්නපුර පළාබද්දල මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් සිරිපා මලුවට පිවිසෙන්නේ කොහොමද කියලා බලමු. හැටන් - නල්ලතන්නි මාර්ගය ජනප්‍රිය වෙන්න කලින් ලංකාවේ ප්‍රකට සිරිපා මාර්ගය ලෙස පාවිච්චි උනේ රත්නපුර පළාබත්දල මාර්ගය.
 


      රජවරු, දේශ ගවේශකයෝ වගේ බොහෝ දෙනෙක් ගමන්ගත් රජමාවතට සමීපව හා ඊට තරමක් සමාන්තරව මෙය පිහිටා තිබුණා. මෙම මාර්ගය රත්නපුරේ සිට මල්වල, ගිරිමලේ පළාබත්දල හා පවනැල්ල යන් ගම්මාන පසුකරගෙන ගොස් සිරිපා අඩවියට පිවිසෙනවා. සිරිපා අඩවියේදී එය දොරළකඩේ, කොකටිය කද, ලිනිහෙල, කටුකිතුල, ගැවනිමුල, කොඩියකඩේ, ගජමංසල, ධර්මරාජගල, ඉදිකටුපාන, සීතගගුල පසුකරමින් හැරමිටිපාණට පිවිසෙනවා. හැරමිටිපානෙදි කුරුවිට මාර්ගයට සම්බන්ධ වෙලා මහගිරිදඹේ පසුකරගෙන මලුවට පිවිසෙනවා. 
     මේ ගමන්මාර්ගයේ හමුවෙන සුන්දර ස්ථානයක් තමයි මාපලාන ඇල්ල. ශ්‍රී ලංකාවේ දියඇලි අතරින් මාපලාන දිය ඇල්ල උස අනුව හතරවන ස්ථානය ගන්නවා. එහි උස මීටර් 146 ක් පමණ වෙනවා. මේ දිය ඇල්ලට නම වැටුණේ මේ ප්‍රදේශයේ පාලක මාපා නම් කෙනෙක් මේ දිය ඇල්ලෙන් නිතර දිය නෑවා ලු. ඉතින්  මාපා නාන ඇල්ල පසුව මාපලාන ඇල්ල බවට පත්වෙලා තියෙනවා. මාපලාන දිය ඇල්ලේ සෞන්දර්ය ට අමතරව පලාබත්දල ගම්මානය  මිහිදුම් සලු එලුණු නිල්ල වෙලාගත් කඳු වළල්ලකින් වට වී තියෙන නිසා එහි සොබා සෞන්දර්ය තව තවත් ඉස්මතු වෙනවා.
      පළාබත්දල කියන නම හැදුනේ කොහොමද? පළාබත්දල නම හැදිලා තියෙන්නේ මෙහෙමයි. ඒ කාලේ දුප්පත් මගියෙක් කලු ගං දොලදී ඔහු ගෙන ගිය පළා මුල ආහාරයට ගන්න සැරසෙද්දී ඒ පළා මුල බත් මුලක් බවට පත්වෙලා. ඒ නිසා මේ ස්ථානයට පළාබත්මුලක් කියන නම පට බැදිලා තියෙනවා. පසුව එය පළාබත්දල වෙලා. ඒත් මහාවංශයේ එහෙම දොලක් ගැන සඳහනක් වෙලා නෑ. මහාවංශයේ තියෙන්නේ පළාබත්ගල කියන නමයි. ඒ නිසා මේ නමට පසුව පළාබත්දල කියන නම වැටිලා තියෙනවා. සිරිපා මාර්ගයේ හමුවන පළාබත්දල ගමේ තවත් සුවිශේෂ ස්ථානයක් තමයි පළාබත්දල කිර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවා තිබෙන විහාරය. මේ විහාරයේ විහාර ගෙය අලංකාරවත් චිත්‍ර හා මුර්ති වලින් අලංකාරවත් වෙලා තියෙනවා. ඒ වගේම මේ විහාරයේ ශ්‍රී පාදය ආවරණය කොට තැබු තඹ සිරිපතුල තැන්පත් කොට තිබෙනවා. ඒ වගේම මේ මාර්ගය හරහා යන වන්දනා කරුවන්  මේ විහාරයෙන් ආශිර්වාද ලබාගන්න නම් අමතක කරන්නේත් නෑ. පළාබත්දලට පස්සෙ හම්බවෙන පවනැල්ල ගම්මානය තමයි සිරිපා මාර්ගයේ තියෙන අවසාන ගම්මානය. පවනැල්ල ගම්මානය මුහුදු මට්ටමේ සිට මීටර් 600 ක් උඩින් තියෙන්නේ. ඉතින් සිරිපා මාර්ගයේ මෙයත් විශේෂ ස්ථානයක්.
   

     මීලඟට කතා කරමු ලිහිණිහෙල ගැන.ලිහිණිහෙල ගැන කතාකරද්දි ලිහිණිහෙලේ අම්බලම අමතක කරන්න බෑ. ලිහිණිහෙල මුහුදු මට්ටමේ සිටි මීටර් 1000 කට වඩා උසිනුයි පිහිටලා තියෙන්නේ. සිරිපා මාර්ගයේ ලිහිණිහෙල ප්‍රමාණය මිටර් 500 ක් පමණ දුරට නැගෙනහිර දෙසට තිබෙනවා. ජනප්‍රවාදවල එන විදියට ලිහිණි කියලා කාන්තාවක් මේ හෙලට වැටිලා මිය ගිහින් තියෙනවා. ඒ නිසා මෙතනට ලිහිණිහෙල කියනවා. හුගාක් වන්දනා කරුවෝ මෙතනින් යද්දි ලිහිණි අක්කට කතාකරනවා. මෙයත් සිරිපා මාර්ගයේ එන සුවිශේෂි ස්ථානයකි.
      ලිහිණි හෙලට පස්සෙ හමුවන වැදගත් ස්ථානය කොඩියාහෙල. මුහුදු මට්ටමේ සිට මිටර් 1800 ක් පමණ උසින් පිහිටි කොඩියහෙළට ඇතැම් අය කිව්වෙ කොඩියහෙල කඩේ කියලා. ජනප්‍රවාද වලට අනුව මෙහි කොඩියක් ලෙලදුන් බවත් ඒ කොඩිය සමනල කන්ද මුදුනටත් පළාබත්දලටත් එක විදිහටම පෙනුනලු. ඒ නිසා හුගක් දෙනා කිවේ පළාබත්දල මාර්ගයේ හරිමැද කොඩියාහෙළ කියලා. 1800 න් පස්සේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් තමයි මේ කොඩි එතැන පිහිටුවල තියෙන්නේ. සිමා මායිම් ලකුණු කරගන්න.
 


    සිරිපා කරුණා කරන වන්දනාකරුවන්ට මුණ ගැසෙන සුවිශේෂීම ස්ථානයක් තමයි ගෙත්තම්පාන. කොඩියහෙල පහුකරගෙන එද්දි හම්බවෙන්නේ ගෙත්තම්පාන. ඔයාලා දන්නවද ප්‍රධාන පාරවල් 3ට සීත ගගුල් 3 යි. ගෙත්තම්පානවල් 3යි. තියෙනවා ගෙත්තම්පානට නැත්නම් ඉදිකටුපානටත් ඉතිහාස කතාවක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටුවන්න වඩින වෙලාවේ වසවර්ති මාරයාගේ කරදරවලට ලක්වෙලා තියෙනවා. ඒනිසා බුදුරදුන්ගේ සිවුර යන්තම් පලුදු වෙලා තියෙනවා. එතකොට මේ ඉදිකටුපාණේ නතර වෙලා සිවුර ගෙත්තම් කරගෙන තියෙනවා. ඒක නිසයි අදත් මෙතනින් යන කෝඩු කාරයන් ලවා ගෙත්තම් කරවන්නේ.
     ගෙත්තම්පාන පස්සෙ හම්බවෙන පෙරලන්න බැරි ගල ගැන ඔයා අහලා තියෙනවාද? ඒක හරියට කවුරුහරි උස්සල ගෙනල්ල තියපු එකක් වගෙයි. තනි කෙනෙක් හොල්ලන්න හැදුවම හෙල්ලෙනවා වගේ දැනුනත් පෙරලෙන්නේ නැ. ඒක කට්ටිය එකතු වුණාම තවත් හොල්ලන්න හැදුවට ගල හෙල්ලෙන්නේවත් නෑලු. ඒකත් සිරිපා මාර්ගයේ දකින්න පුලුවන් අසිරිමත් දෙයක්. අසිරිමත්, අපුරු, කුතුහලය දනවන බොහෝ දේ හමුවෙන සිරිපා මාර්ගයේ දැන් මලුවට ආසන්න වෙලා ඉන්නෙ.
    ගෙත්තම්පානට පස්සෙ හමුවෙන්නේ සීත ගඟුල. හැටන් පාරෙ වගේ නෙවෙයි රත්නපුර පාරෙ සීත ගඟුල හම්බවෙන්නේ පඩි හයදාහකටත් වඩා නැග්ගමයි. හැටන් වලින් නම් නල්ලතන්නියෙ ඉඳල පැයක් ගියාම සීත ගඟුල. මේ දිය දහරාවට සීත ගගුල කියන එකනම් සාදාරණයි. මොකද මේ වතුර උදේ රෑ කියලා වෙනසක් නැතිව සීතලයි .මුළු ඇඟම නිකන් පිච්චෙනව වගේ ඒ වෙලාවෙ අපිට දැනුණෙ. නිකන් දත් හිරිවැටෙන්න බේත් විද්දා වගේ. ඇල්ලුවට තේරෙන්නෙ නැහැ. ඉස්සෙල්ලා කිව්වා වගේම ප්‍රධාන මාර්ග 3ට සීත ගගුල් 3ක් තියෙනවා. මේවායින් ලස්සනම සීත ගගුල හැටන් පාරෙදි හමුවෙනවා. පළලම සීත ගගුල කුරුවිට පාරේ දැක ගන්න පුලුවන්. මුහුදු මට්ටමේ ඉදලා ඉහළම සිත ගගුල තියෙන්නේ මේ රත්නපුර පළාබත්දල මාර්ගයේ.
     ඔයාලා දන්නවද සිරිපා වන්දනා වාරේ ආරම්භ වෙන්නේ සුමන සමන් දේව ප්‍රතිමාව මලුවට වඩම්මවලා. දැන් හැටන් පාරෙන් එය සිදුකලත් ඉස්සර පිළිමෙ වඩම්මන්නේ රත්නපුර පළාබත්දල පාරේ. සිත ගගුලෙදි සමන් දේව ප්‍රතිමාව රැගෙන ගඟුලට බැහැලා සදුන් පැන්වලින් නහවනවා. ඊට පස්සේ කපුමහත්වරුන් නාලා පේ වෙලා තමයි ගමන අරඹන්නේ. අදත් වන්දනා කරුවෝ අනිවාර්යයෙන්ම සීත ගගුලෙන් නාල තමයි මලුවට යන්නේ. ඒක සිරිපා කරුණා කරන අයගේ සිරිතක්.
    සීත ගඟුලට පස්සේ තියෙන්නේ හීන් ගඟුල. මලුවට වතුර පොම්ප කරන්නේ හීන් ගඟුලෙන්. හීන් ගඟුලට ඩොංකිය කියලත් කියනවා. ඉස්සර වලුවට වතුර පොම්පකරලා තියෙන්නේ වායු තෙරපුම උපයෝගී කරගෙන. ජල හා වායු තෙරපුම නිසා නිතරම මේකෙන් ඩොං ඩොං කියලා ශබ්දයක් නැගෙනවා. ඒ නිසා මේකට ඩොංකිය කියලත් කියනවා. හීන් ගඟුල පහුකරගෙන වන්දනා කරුවන් ඊලගට ලගා වෙන්නේ හැරමිටිපානට.
   හැරමිටිපානට හැරමිටිපාන හංදිය කියලත් කියනවා. බුදුන්වහන්සේට යම් පුද්ගලයකු මෙහිදී හැරමිටියක් පූජා කළ බවයි ජන විශ්වාසයේ පැවතෙන්නේ. මොකද හැරමිටිපානෙදි තමයි කුරුවිට පාරත් රත්නපුර පාරත් එකතු වෙන්නේ. හැරමිටිපාන තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදලා මිටර් 1650 ක් උසින්. හැරමිටිපානේ ඉදන් මිටර් 500 කට වඩා තව ඉහලට කරුණා කරන්න වන්දනා කරුවන්ට සිද්ද වෙනවා.
 






   මේ විදියට වන්දනාකරුවෝ කෙමෙන් කෙමෙන් සිරිපා මලුවට සේන්දු වෙනවා. මහගිරිදඹේ පටන් ගන්න කලින් එක්තරා විශේෂ දෙයක් දකින්න ලැබෙනවා. ඒ තමයි හුණු තැවරූ අඩි 3 ක පමණ බදක් සහිත අඩි 2 ½ ක් පමණ උස ගල් කණුවක්. මේ ගල් කණුවට තමයි ඇහැළ කණුව කියන්නේ. මෙතනින් සිරිපා කරුණා කරන වන්දනාකරුවන් ඇහැලකණුවේ හුණු බිදක් අතුල්ලා යන්න අමතක කරන්නේනෑ. විශේෂයෙන්ම කෝඩුකාරයෝ මේ සිරිත අනුගමනය කරනවා. දුෂ්කර ගමනක අවසාන පියවරටයි මීලගට ලගා වෙන්නේ. ඒ තමයි මහගිරි දඹේ. මහගිරි දඹේ නගින්න සාමාන්‍යෙයෙන් විනාඩි 20 ක් 30 ක් ගතවෙනවා. තද බෑවුමේ පිහිටි මේ සිමෙන්ති පඩිපෙල අංශක 60 ක් පමණ ආතතියක් ඔස්සේ මලුවට පිවිසෙනවා. ඒත් ඉස්සර මහගිරි දඹේ තරණය කරන්න පඩිපෙලක් තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ අගල් 9 ක් පමණ ඝණකම් යකඩ දම්වැල්. මේ දම්වැල් වල එල්ලිලා ඉතා අසීරුවෙන් තමයි ඒකාලේ වන්දනාකරුවෝ මලුවට ලගාවුණේ. අදටත් ඒ දම්වැල් කොටස් කොළඹ කෞතුකාගාරයේ දකින්න පුලුවන්. මේ විදියට අසීරුගමනකින් පස්සේ සිරිපා වන්දනාකරුවෝ සිරිපා වැඳ පුදා ගන්නවා. ඉතින් එදා ඉදන් අද දක්වාම රජවරු, දේශගවේශකයෝ, ඉතිහාසඥයෝ, වන්දනාකරුවන් වර්ෂයක් පාසා ලක්ෂ ගණනකින් ශ්‍රීපාදස්ථානය වඳින්න යනවා. මේ විදිහටම තවත් මාර්ග 6 ක් ඔස්සේ සිරිපා වදින්න පුලුවන්.
   







      අපි ඔය ගමන යන අතරෙදි ගම්පොල හරහා ගිහින් අම්බුලුවාව සිද්ධස්ථානයත්, දලදා මාලිගයත් වැඳ පුදාගෙනයි ගියේ. හින්දු, කතෝලික හා මුස්ලිම් යන සිද්ධස්ථාන තුනම එකම තැනකදී වැඳ පුදා ගැනීමට හැකි වන පරිදි සර්වාගමික සිද්ධස්ථානයකුයි මේ අම්බුලුවාවේ ගොඩ නඟලා තියෙන්නේ. බලන්නකෝ ඉහල ඡායාරූපවලින් අවට ලස්සන. එතන තියෙන විශේෂම දේ තමයි අඩි 400ක් පමණ උස ගොවි ජන සෑය. සෑය මුදුනටම යන්නට පැය ගැට පෙලක් තිබුනත් ඒ ගමන ත්‍රාසජනක අත් දැකීමක්. උපරිම ත්‍රාසය ලැබෙන්නේ චෛත්‍ය ඇතුලෙන් නොව පිටතින් ගමන් කරන විටයි. සෑයේ අවසන් කොටසේදී පඩිපෙල ඉතාමත් සිහින් වෙනවා. ඇතුලතට වෙන්නට තියෙන පොඩි කුටි හරහා ගිහින් එක් එක් අයට මාර් විය හැකියි. පඩි පෙලත්, සුලඟත්, සීතලත් නිසා බොහෝම පරිස්සමින් කල යුතු ගමනක්. කන්ද මුදුනටම නැග්ගාම මුළු ගම්පොල නතරයම ඉතාමත් අලංකාරව දකින්නට පුළුවන්. ඈතින් පූජනීය සමනළ කන්ද, හුන්නස්ගිරිය, බහිරව කන්ද, උතුවන්කන්ද, බලපොකුණ, කළුගල, මුල්ඔය, අහුපිනිඇල්ල, නමුණුකුල, නකල්ස් කඳුවැටි, හන්තාන, බතලේගල, පිදුරුතලාගල, අලගල්ල, මොණරාගල, රාක්‍ෂාව, සප්ත කන්‍යා,  ලෙවලන්, ඩෙල්ටා, පීකොක් හිල්, ප්‍රෝටෝප් වැනි සුවිශේෂී කඳු මෙන් ම මෙහි සඳහන් නොකළ කඳු පද්ධති රැසක් හොඳින් නිරීක්ෂණය කල විට දකින්නට පුළුවන්. අම්බුලුවාව ගැන වෙනම ලිපියකින් ලියන්නම්.



   කරේ දාගෙන යන බෑග් එකේ අවශ්‍යම දේවල් විතරක් දාගෙන යන්න. බිස්කට්, චොකලට් වගේ සැහැල්ලු ආහාර ටිකකුයි සීතල මකා ගන්න ජර්සියක්, අයිස් කැප් එකක්,  පැනඩෝල් කිහිපයක්, සිද්ධාලේප කුප්පියක් වගේ දේවලුයි පිරිසිදු වතුර බෝතලයකුයි ගෙනියන්න හැටන් මාර්ගයේ යනවනම්. රත්නපුර පාරෙන් යනවනම් ඔයිට වඩා සූදානම් ශරීරෙන් යන්නම ඕන. මොකද පාර දුරයි. කඩවල් නෑ. විදුලියත් නැති තරම්. ගොඩක් දෙනෙක් කියනවා වගේ පොලිතීන්, ප්ලාස්ටික් දාලා එන්න එපා. වන්දනා වාරේ ඉවර වුනාම විවිධ කණ්ඩායම් පොහොර උර අරන් ඇවිත් පරිසර සත්කාරයක් විදිහට මේ නොදිරන අපද්‍රව්‍ය එකතු කරන්න වෙන මහන්සිය දන්නව නම් පරිසරය විනාශ කරන වැඩ ඔයාලත් කරන්නේ නැති වෙයි.

ප.ලි-
ඔය වන්දනා ගමනේදී අපි ගෙනියන ගමන් මලුවලට කියන්නේ සැහැල්ලු කියලා. එහෙම කියපු අපේ නඩේ ගුරා දුන්නු සැහැල්ලුව කරේ තියන් ගිහින් හැදුන කොන්දේ අමාරුව, ගෙදර ඇවිත් දවස් තුනක් යනකම්ම  අඩු වුනේ නෑ. 


4 comments:

  1. හොඳ ලිපියක් වගේම දැනුවත් කිරීමක්. අපේ රටේ මිනිස්සුන්ගේ යහපත් සංචාරණ පුරුදු නැති නිසා පරිසරය දූෂණය වීම් නම් බොහෝ යි. සිරිපා සමයේ දී සිරිපා අඩවිය දූෂණය වීම වැලැක්වීම සඳහා පියවර ගැනීම රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වෙන්නට කාලය හරි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. සිරිපා අඩවියට වෙලා තියෙන පරිසර විනාශය, මිනිස්සු සංචාරය කරන අනිත් තැන්වලටත් අඩු හෝ වැඩි වශයෙන් සිද්ධ වෙනවා..

      Delete
  2. එක දිගටම අවුරුදු හතක් විතර ගියාට ළඟදිනං සිරීපාදෙ යන්න උනේ නෑ. මොනව උනත් ඔය පරිසරය රැක ගැනීම ගැනනං අපේ මිනිස්සු තව ගොඩක් හිතන්න වෙයි වගේ.

    හොඳ විස්තරයක්

    ReplyDelete
  3. හරිම ආසාවෙන් කියෙව්වා. ප්‍රධාන මාර්ග තුන ඇරෙන්න අනිත් මාර්ග ගැනනම් ඇහුවෙත් අද තමා. ඒ මාර්ගවල ගියපු කෙනෙක් ඉන්නවනම් විස්තර දැනගන්න කැමතියි.
    සිරිපා කරුණාවට අවේනික චාරිත්‍ර ගොඩක් තියනවා නේද? පිරුවට ඇඳීම, ඔලියල් බැඳීම, ඒ වගේම පාවිච්චි කරන වාග් මාලාව වෙනස් වෙන එක. ඝාන්ටාරේ ගසන වාර ගණන.
    දොළොස් මහේ පහන ගැනනම් මට ප්‍රශ්නයක් තියනවා. ඒක අවාරෙටත් දැල්වෙනවද? නැහැ නේද?

    ReplyDelete