Saturday, April 14, 2018

කෙමෙන් වෙනස් වෙන කොළඹ හැඩය...

මම අරගත්තු පින්තූරය. වෙලාව හවස 6.15ට විතර ඇති. මේ තමයි One Colombo Project එක ආසන්නයේ ඉදිවෙමින් පවතින  Cinnamon Life ගොඩනැඟිල්ල. අනිත් සේරම පින්තූරවල අයිතිය ගූගල් දෙයියන්ගේ.

       හැමෝටම සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ අරමුණ වුනේ හවස් වෙලාවක කොළඹ නගරයේ අහස ෆෝකස් කරලා අරගත්තු පින්තූරයක් දාන්න වුනත්, ඒක ඔහේ නිකම්ම ඔබලා දාන්න හිතුනේ නෑ. තව විස්තර ටිකක් එකතු කරලා පෝස්ටුවක් විදිහට දාන්න හිතුවේ ඒකයි. මම මුලින්ම කොළඹ එන කාලේ අහස උසට ගිය ගොඩනැඟිල්ලකට තිබුනේ 1996දි හදපු ලෝක වෙළඳ මධ්‍යස්ථානය මේ වගේ තිබුණු තැන් කිහිපයක් විතරයි. යුද්දේ ඉවර වෙනවත් එක්කම වගේ සංවර්ධිත රටවල ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් ලංකාව තුල ආයෝජනය කරන්න ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් නිසා තමයි දැන් මේ කොළඹ අහස වෙනස් කරන, කොළඹ හැඩය වෙනස් කරන ගොඩනැඟිලිවල ඉදිවීමට හේතු වෙන්නේ.


Lotus Tower-නෙලුම් කුළුණ
චීන ණය මුදලකින් නිම වෙන නෙලුම් කුළුණේ උස මීටර් 350ක්. පැරිසියේ අයිෆල් කුලුනටත් වඩා උස ලංකාවේ කොලඹ නගරයේ සංකේතයක් නැත්නම් icon එකක් විදිහට මේක පවතීවි. ඉස්සර නම් කොළඹ සංකේතය වුනේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයයි. නමුත් ඉස්සරහට ඒක වෙනස් වෙලා ඒ අයිතිය පහල තියෙන මොන ගොඩනැඟිල්ලට යාවිද කියන්න බෑ. කොළඹ නගරයට කිලෝමීටර් 20-30ක දුර ඉඳන් බැලුවත් මේ නෙලුම් කුලුණ දැක ගන්න පුළුවන්.

Altair-අල්ටෙයා
සිංගප්පූරුවේ සහ අමෙරිකාව එකතු වෙලා කරන ඉදිකිරීමක්. සුවිශේෂ හැඩයකින් යුක්තව ඉදිකරමින් පවතින  මේ අල්ටෙයා (Altair) ගොඩනැගිල්ල සම්පූර්ණ උස මීටර් 240ක්. 



Shangri-La Colombo-ෂැන්ග්‍රී ලා – කොළඹ
අධි සුඛෝපභෝගී තරු හතේ හෝටලයක් වගේම  සාප්පු සංකීර්ණයකුත්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ආදිය මෙහි ඉදි වෙනවා. දැනටමත් මෙයි එක් පර්යන්තයක් විවෘත කරලයි තියෙන්නේ.



Colombo City Centre-කොළඹ නගර මධ්‍යස්ථානය
කොළඹ ගංගාරාමයට ඉදිරියෙන් අල්ටෙයා ගොඩනැඟිල්ලට ආසන්නයෙන් තියෙන්නේ මේ Colombo City Centre ගොඩනැඟිල්ලයි. සිංගප්පූරුවේ ආයෝජනයක් උඩ තමයි මේක ඉදිවෙන්නේ.



Krrish Square - ක්‍රිෂ් චතුරශ්‍රය
මේ ගොඩනැඟිල්ල නම් තාමත් ඉදිවෙමින් තියෙන්නේ. තව අවුරුදු ගානක් ඉදි වේවි. World Trade Center නැත්නම් Echelon Square එක කිට්ටුවෙන් බොහොම අලංකාරව ඉදිවෙනු ඇති.


Destiny Mall and Residency-ඩෙස්ටිනි
මේක කුලුණු  දෙකකින් යුත් ඉදිකිරීමක්. එකක් සාප්පු සංකීර්ණය සහ අනික නිවාස සංකීර්ණය වශයෙන්. කොම්පඤ්ඤ වීදියේ තමයි ඉදි වෙන්නේ. ටාජ් සමුද්‍රා හෝටලයට සහ Colombo one ව්‍යාපෘතියට ආසන්නයි.

          දැන් කොළඹ වෙනස් වෙලා කියන එක හැබෑවටම දැක ගන්න තව අවුරුදු පහකින් විතර පුලුවන් වේවි. කාලයේ තාලයට නවීකරණය වුන අලුත් කොළඹක් දැකගන්න හැකි වේවි. එතකොට සිංගප්පූරුව, චීනය වගේ රටවල් වල තියෙන නගර එකක් හරි හරියට පෑහෙන්නත් කොළඹට හැකි වේවි. එයට සමගාමීව කොළඹ යටිතල පහසුකම් දියුණු වෙනවාද කියන එක නම් ප්‍රශ්නයක්. ඒකට හොඳම උදාහරණය තමයි කොළඹ කොච්චර දියුණු වුනත් දවල් වරුවේ කොළඹ අවට වාහන තදබදය නම් අඩුවක් නෑ කියන කාරණය. ඒ වගේ දේවල් වලට නිවැරදි විසඳුම් ලැබුනොත් තමයි යුද්ධෙන් පස්සේ කොළඹ සිදුවුන වෙනස් කම් වලට නියම අගයක් ලැබුනා වෙන්නේ.

කොළඹ අවුරුදු සීයකට එහා සහ අද කොළඹ ගැන අදහසක් ගන්න මේ වීඩියෝව බලන්න.


No comments:

Post a Comment