Sunday, August 3, 2014

ටෙස් මැච්චෙක...


          අද ඉස්කෝලේ ඇරිලා ආ වෙලේ ඉඳන්ම පියල්  ගේ වැඩේ රේඩියෝව කණ ලඟට කරගෙන මොනවදෝ උවමනාවෙන්ම අහන් ඉන්න එක. ඉස්සරට වඩා හිතුවක්කාරයි. කාණ්ඩෙත් එක්ක සෙල්ලමට වැටිලා හොඳටම ඇඳිරි වැටිලා ගෙදර ඇවිත් පෙලක් දාට පාලොස් පැය ගෙවෙනතුරුත් රේඩියෝව දමාගෙනයි ඉන්නේ. වෙලාවකට එකපාරම හූ කියනවා, හිනාවෙනවා, අප්පුඩි ගහනවා. ළමාහාමි උන්දැට නම් මේක මහම ප්‍රහේලිකාවක් වගේම කංකරච්චලයක් විත්තිය උන්දැගේ ඇඹුල් වුන මූණ දකින ඕනම කෙනෙකුට තේරෙන්න වැඩි වෙලාවක් යන් නෑ. 
            අදත් රෑ අටට යන බණ ඩිංග අහල ඉවර උනායින් නොවුනයින් මේ කොලුවා දුවල ඇවිත් රේඩියෝව කිහිල්ලේ ගහගත්තා. බත් ටික කන්නෙත් රේඩියෝව කණේ ගහගෙන. ළමාහාමි උන්දැ කීවේ පියල්ගේ ආච්චි...පහු ගිය දවස් දෙක තුනේ ඉඳන්ම මොකක් හරි නුහුගුණ ගතියක් මේ කොලුවට තියෙනව කියල ළමාහාමි උන්දැට ඇති වෙලා තිවුන සැකය දැන්නම් ඉන්තේරුවෙන්ම ඔප්පු වෙලා තියෙන්නේ ඇස් පනාපිටම. මේක නම් ඇස්වහ කටවහ දෝසයක් තමයි. ඊයේ අර උඩහ ගෙදර අලුතෙන් රට ගෙහුන් ආපු සිරියා ගෙනාපු ටොපි ලොසින්ජර එහෙමත් මේ කොලුව කනව ඇහැටම දැක්කා. සහතිකෙන්ම එවුවත් මොකක් හරි ජීවමක් කොරලා ගොනපුව..මූ හොඳට ඉගෙන ගන්නව දකිනකොට උන්නෙ ඇහැට කටු අනින්න වගේ ඇති. 
             කොහෙද ඉතින් මෙවුන්නෙ අම්මත් මහ පුදුම එලදෙනක්නෙ. කොච්චර නම් කීවද තෙබානිස් කට්ටඩි රාලව ගෙන්නලා දෙහි ගෙඩියක් කප්පවලා ඇස්වහ කටවහ හමාර කරවමුයි කියලා. කෝ ඉතින් ඒකේ ගානක්වත් නෑ මේ මහ අම්මණ්ඩිට. අනේ හැබෑටම දැන් හැදෙන ලමයින් වාගෙමයි උන්නෙ මහ එවුනුත්. අනේ හැබෑටම මගෙ අහිංසක දරුවට මොකද මේ වෙලා තියෙන්නේ දෙයියනේ කියලා ළමාහාමි උන්දැ හැබෑවටම විස්සෝප වුනා.  කෝකටත් කියලා සැක ඇරගන්න හිතලා ළමාහාමි උන්දැ ඇඳෙන් බැහැලා ඇවිත් සාලෙට ටිකක් හොස්ස පොවලා බැලුවා. මොනවදෝ රටින් ඇහෙන උන්දැටත් නොතේරෙන කුරු කුරු සද්දයක් තමයි ඇහෙන්නේ රේඩියොවෙන් ඇහෙන්නේ.

"මොකක්දැ ළමයෝ මේ විගඩම... උඹ මොනවටද ඔය අප්පුඩි ගහන්නේ? හැබෑටම උඹට පිස්සුද?"

"මැච් එකක් ආච්චියේ.....ටෙස් මැච් එකක්......"

"මැච් එකක් කිවුව?... කවුද බං මේ පාලොස්පැයට මැච් ගහන්නේ...පිස්සොද?"
               දැන්නම් ළමාහාමි උන්දැට හොඳටම ඔප්පු වෙලයි තියෙන්නේ මේ කොලුවට මොකක් හරි නුහුගුණයක් තියෙන විත්තිය. එක්කෝ සාංකාව හැදිලා. නැත්නම් තනිකං දෝසයක් වෙන්ඩත් බැරි නෑ. නැත්තං එදා කාපු ටොපි ලොසින්ජර ජීවමක් කොරලා ගෙනාපුව වෙන්ඩත් බැරි නෑ. කොහෙද ඉතින් මුන්ගෙ තියෙන තන්නාසෙට වගවිබාගයක් නැතුව අතට අහුවෙන ඕන එකක් ගිල දානව නෙව.


"මෙහෙ නෙවෙයි එංගලන්තේ ආච්චියේ ගහන්නේ...ඕස්ට්‍රේලියාවයි එංගලන්තෙයි...."

          ළමාහාමි උන්දැට නම් ඒ හරුපෙ තේරුනේ නෑ. කොහෙ වුනත් මේ රෑ රාත්තිරියේ අහවල් ඉලව්වක් සෙල්ලම් කොරනවද...



"හරි අපූරුයි...රෑට බෝල ගහන විත්තියක් මං ඇහුවෙත් අදමයි..."


"එහාට දවල්නෙ ආච්චියේ...ඇයි භූගෝල විද්‍යාවට උගන්නන්නේ එක එක රටවල් වලට එක එක වෙලාවට රෑ දවල් උදාවෙන්නේ කියලා."

"ඉතිං උඹ ඔය උඩ පැනගෙන අප්පුඩි ගහන්නේ උඹ උන්ව අඳුරනවද?..."

"ක්ලාක් මාර කැච්චෙකක් ඇල්ලුවනෙ ආච්චියේ..."

"වි..පි..රි..යා..ස..මට නං පේන්නේ ආයිත් සරයක් උඹේ ඔලුව නරක් වේගෙන එනව...ඕං ඕක වහල බුදිය ගනිං.."


වක්කලම නවකතාව කියවද්දි ආපු අදහසක් ප්‍රස්තුතයක් කරගෙන ලියන ලද්දකි...
ප.ලි.මට වුනු දෙයක් යැයි වරදවා වටහා නොගන්න...

5 comments:

  1. කතාවනම් අපූරුවට ලියවිලා තියනවා.. ඒත් වක්කලම කියවද්දි මෙහෙම එකක් ආවෙ කොහොමද ? වක්කලම කියන්නෙ අර රට ගිය ඉලෙක්ට්‍රීශියන්ගෙ කතාව නේද ?

    ReplyDelete
  2. වක්කලම කියවලා නැතත් මේ සටහනනම් මගේ හිත ගත්තා..

    ReplyDelete
  3. අප්පෝ ඇති යංතං බ්ලොග් එක මතක්වෙලා

    ReplyDelete
  4. රතී උඹ ආයෙත් අවිත්.... කමක් නෑ ඉඩතියෙන වෙලාවක ලියපං

    ReplyDelete
  5. තාක්ෂන වෙනස්විම වැඩිහිටි පරපුරට ගොචර නොවෙන හැටිද?ලස්සන කතාව

    ReplyDelete