Wednesday, September 17, 2014

කැලණියෙන් පටන්ගෙන හක්ගලට (පළමු කොටස)

Year, Month and Date  06th to 08th of September, 2014
Number of Days 3 days
Crew 12 + me
Accommodation * Stayed at first night in Buddhist guest house in Mathara Weherahena Temple - Contact: 0412231116

* Stayed at Second night in Buddhist guest house - Katharagama (Couldn't get contact no)
Transport by van
Route First Day -
Start from Kurunegala > Kelaniya(Temple) > Ambalangoda(Through highway - Seenigama Devalaya) > Galle(Fort & Light House) > Koggala(Martin Wickramasinghe Folk Museum) > Mathara(Weherahena Temple).

Second Day -
Start from Mathara(DewinuwaraTemple) > Southern End(Dewundara Thuduwa) > Wewurukannala Temple >  Dickwella(Blowhole-Hummanaya) > Hambanthota(Mahinda Rajapaksha Port) > Thissamaharamaya(Temple) > Ranminithanna(Tele-cinema park) > Sella Katharagama > Kiriwehera > Kataragama Temple and return to guest house in Kataragama.

Third Day -
Mattala Rajapaksa International Airport > Rawana Falls > Nuwara Eliya(Hakgala Botanical Garden) > Gregory Lake
Special Remarks If you are going to stay at night somewhere you don't know very well, Arrange your rest place before begin your trip after discussing. 

           සටහන කියවන්න කලින් බලන්න දෙයක් තියෙනවා.  පරිසරය සුරකින එකේ වටිනාකම ගැන හදවතට දැනෙන්න කියන වීඩියෝවක්. ඒකත් බලලම ඉන්න මෙතනින්. වීඩියෝවේ හැටියට මේ වගේ ට්‍රිප් යන අයට නම් කියන්න තියෙන්නේ ඒ යන තැන කොතන වුනත් එතන තියෙන සුන්දර පරිසරයටත්, ඒ පරිසරය රැක ගත්තු හැමෝමත් වෙනුවෙන් ඒ ගෞරවය තියලා, තමන් ගන්න ආතල් එකක් අරගෙන මතක විතරක් ආපහු අරන් වරෙල්ලා කියන එක.
         අපි හුගක් වෙලාවට ලංකාව ඇතුලෙ ට්‍රිප් එකක් යන්න හිතුවට යන්න වෙන්නෙ නැත්තේ ඇත්තම හේතුවලටත් වඩා අපි හිතෙන් හදාගත්තු හේතු ගොඩක් හින්දා. ගෙදර දොරේ ප්‍රශ්න, අම්මලා,තාත්තලා ඉන්නේ අපි ගාව නම් ඒ අය දාලා යන්නත් බැරි එක්ක යන්නත් බැරි හේතුත් ඔය අතරට එනවා. ඊටත් වඩා වෙලාව නැති එක පලවෙනි තැනට එනවා. ඊටත් කලින් තවත් ඉස්සරහටම එන ගැටලුවක් තමයි වැඩිපුර සල්ලි ටිකක් අතේ තියෙන්නත් ඕන දවස් දෙක තුනක් දක්වා දිග වෙන ට්‍රිප් එකකට කියන එක. හරියට සංවිධානය කරගෙන වගේම බලන්න ඕන තැන් එපා තැන් කලින්ම තීරණය කරගෙන යනව නම් නියම අත්දැකීමක් ට්‍රිප් එකකින් ගන්න පුලුවන් වෙන්නේ හිතේ බරක් නැතුව වගකීම් වලින් ටිකක් හරි අයින් වෙලා නිදහසේ යන චාරිකාවකින්.
      මේ පාර නිවාඩුවට ගෙදර ගියේ නම් මේ ට්‍රිප් එක යන්න සෙට් කරගෙනමයි. මම ඇතුලු අපේ පවුලේ උදවියගෙන්මයි අපේ නඩයේ දොලොස්දෙනා එකතු වුනේ. දවස් තුනක්. දකුණේ ගොඩක් තැන් කවර් කරන්න හිතාගෙනමයි පිටත් වුනේ. උදේ හතර වෙද්දි යමුයි කියලා ඉස්සරින් දවසේ රෑ ඒකමතික තීරණයකට ඇවිත් හිටියත් එක එක හේතු හින්දා හය වෙනිදා උදේ අපි ගෙදරින් ගමන පිටත් වෙද්දි උදේ 5.00 ත් පහුවෙලා. දවස් තුනක ට්‍රිප් එකක් හින්දා ඊට කලින් දා රෑ ලොකු වතුර කෑන් දෙකකට වතුර පුරවලා, පොඩි ලීටර් එක හමාරේ වතුර බෝතල් අටක් දහයකටක් විතරත් වතුර පුරවලා වෑන් එකට දාලා තිබ්බා. දර එකතු කරලා මිටියකට බැඳලා වෑන් එකේ උඩ hood rack එකේ දැම්මා. වලං හට්ටි මුට්ටි හාල් පොල් වගේ උයන පිහන අඩුම කුඩුම ටිකත් දැම්මේ ඒ හුඩ් රැක් එකේමයි. ඒ බඩු ටික පොඩි tent එකක් දාලා කවර් කරලා දැම්මා නොතෙමෙන විදිහට. මේ හුඩ් රැක් එකට බඩු දාගෙන ගියපු එක ලේසි වුනා වගේම එක තැනක් අහුවුනා මේක බාගෙන ආපහු වෑන් එක ඇතුලේ දාගෙන යන්න වෙන. ඉතින් ඊට අමතරව ඔය පොඩි පොඩි  දේවල්, ඒ කියන්නේ අග්ගලා, වැලි තලප වගේ කන බොන ඒවා සීට් අස්සෙන් දා ගත්තා. ඒ දේවල් අත ලගින්ම තියාගන්න එපැයි කියන එක මගේම අයිඩියා එකක්. වෑන් එකට ගානට සෙට් වුනා දොලොස් දෙනා. සීට් තිබ්බෙත් දොලහයි.



මේ තියෙන්නේ අපි ගිය වාහනේ. මස්සිනාගෙ වෑන් පොඩ්ඩ. ඔය නිල් කොටු කොටු එකක් ඇඳගෙන ඉන්නේ පොර තමා...


         ඇත්තටම කීවොත් මම ගෙදරත් එක්ක එකතු වෙලා ට්‍රිප් එකක් ගියේ පුංචි සන්ධියෙ ගියාට පස්සෙ. ඔය දැන් අලුත් trend එකක් තියෙනවනෙ "Spend the Day" කියල දවස ගෙවා ගන්න නාලා කාලා සින්දුවක් කියලා ආතල් එකක් ගන්න යන තැන්. මේක නම් අන්න ඒ වගේ එකක් නෙවෙයි. බොහොම ප්ලෑන් කරලා ගියපු එකක්. හැබැයි ඉතින් ප්ලෑන් කරපු එකේ රඟේ මතක් වෙන්නේ පලවෙනි දවසෙ රෑ end point එකට ගිහින් නිදාගන්න බලපුවාමයි. ඇයි හත් ඉලව්වේ පැදුරක්වත්, කලාලයක්වත් දාගෙන ගිහින් නෑ නෙව. අපිට නම් ඕනෙ එකක්. ඒ වුනාට ගෑනු උදවියට කොහොමද බිම නිදාගන්න කියන්නෙ කියලා කල්පනා කර කර ඉන්න අතරෙ අපේ මාමණ්ඩියා කීව නෙව “දැන් ඉතින් උඩ බිම බල බල ඉන්නෙ නැතුව ටවුන් එකට ගිහින් කලාල දෙකතුනක් වත් අරන් එමු“ කියලා. මාමණ්ඩියගෙ කටේ මසුරන් දාන්ඩ හිතුනා ඒක ඇහුවට පස්සේ. ඇයි ඉතින් ඒකෙනුත් තට්ටු වෙන්නේ මගෙ තුට්ටු දෙකටනෙ. අන්න ඒ වගේ පොඩි පොඩි මංකොල්ලකෑම් පවුලක් ඇතුලෙදි වුනත් වෙන්න ඕන තරම් ඉඩ තියෙන හින්දා ඔය වගේ දිග ගමන් යද්දි සල්ලි ටිකක් අතේ තියාගෙන යන්නම ඕන කියන එක මතක තියාගන්න අතරේ මීට පස්සේ නම් ගමන යන්න කලින් ලිස්ට් එකක් හදාගෙන බඩු ටික පැක් කරගන්න ඕන කියන එකත් තරයේම මංතුමා විසින් හිතට ගත්තා. අපරාදේ කියන්න බෑ මගෙ මස්සිනා පොඩ්ඩත් නියම චරිතෙ. මං වගේමයි ඌත් ගහන  බුල්.  අමතක බැරිවෙන ඒවා එහෙම මට වගේමයි පොරටත්. දෙන්නම සේම්...
    කොහොම හරි අපි පිටත් වුනේ හය වෙනිද සෙනසුරාදා උදේ පහට විතර කියමුකෝ. පොඩි වැස්සකුත් එක්ක. අපේ මස්සිනාගෙ තාත්තා ඔය නැකැත් ශාස්ත්‍රය එහෙම අනං මනං පොඩ්ඩක් දන්න මිනිහා. හොඳ පොල් ගෙඩියක් ලෙලි ගහලා අතේ තියාගෙන හිටියා පාන්දර නැගිට්ට වෙලේ ඉඳලා. මටත් හෙන කුතුහලේ දැන් මේ මොකටද මේ මනුස්සයා පොල් ගෙඩියක් උදේ ඉඳන් අතේ තියන් ඉන්නේ කියලා. ඇයි හත්ඉලව්වේ මෙච්චර මේ සුබ ගමනක් යන්න තියෙද්දි මහ පාන්දර පොල් ගානව කියල යැයි. අනික උයන ඒවත් උයන්නේ ගෑනු උදවිය නෙව. මේ මනුස්සයා කුස්සිය පැත්ත පලාතෙ යන පොරක්වත් නෙවෙයි කෑම කන වෙලාවට ඇරෙන්න. දැන් ඔන්න අපි ගමන පිටත් වෙන්න කියලා වාහනෙට නැග්ග කියමුකෝ. වාහනෙ ස්ටාට් කරාට පස්සේ මං බැලුවා කෝ මේ මස්සිනාගෙ තාත්තා පොඩ්ඩ කියලා. බැලින්නම් මස්සිනාගෙ තාත්තා වාහනේ ඉස්සරහට ගිහින් මොනවද මතුරලා වාහනේ පැත්ත බලාගෙන අතේ තියන් හිටපු පොල් ගෙඩිය වාහනේ ඉස්සරහ ගල් ගෙඩියක ගැහුවෙ නැද්ද එකපාරම ඩොග් ගාලා. හැබැයි වැඩේ කියන්නේ පොල් ගෙඩිය එකපාරින් බිඳුනෙ නෑ. දෙවෙනි පාරට ගහපුවාම තමයි බිඳුනෙ. ඒ පොල් ගෙඩිය ගැහුවෙත් ගඩොල් කැටයක උඩටනෙ.
           වාහනෙට නැග්ගට දැන් මස්සිනාගෙ තාත්තට මාර අප්සෙට් එක. ඇයි මේ මනුස්සයා ඉතින් ඔය සුබ අසුබ ගැන එහෙම සෑහෙන්න විශ්වාස කරනවනේ. ඉතින් හෙන කල්පනාව එක පාරින් අර පොල් ගෙඩිය බිඳුනෙ නැති එකට. මට නම් ඉතින් ඔය දේවල් ගැන විශ්වාසයක් නැති වුනත් දැන් මෙයාගෙ මූඩ් එක ෆික්ස් කරන්න එපැයි. මම කීවා “ඕක මොකක්ද අප්පච්චි, එකපාරින් පොල් ගෙඩිය දෙබෑ උනේ නැත්තේ අර ගඩොල් කැටයක් උඩ ගහපු හින්දනෙ. නැතුව වෙන අවුලක් හින්දා නෙමෙයි “ කියලා. එහෙම අනම් මනම් කියලා සෑහෙන වෙලාවකට පස්සේ තමයි මූඩ් ෆික්ස් වුනේ.
      ගමන ගැන කියනව නම් කුරුණෑගලින් පිටත්වෙලා කෙලින්ම ආවේ කැළණිය රජමහා විහාරයට. මේ තියෙන්නේ එහෙදි ගත්ත පින්තූර ටිකක්.













             කැලණියෙදිම උදේ කෑම කාලා නවය හමාර විතර වෙද්දි පිටත් වුනා.  ඊටපස්සේ කෙලින්ම හයිවේ එකේ අම්බලන්ගොඩට. හයි වේ එකට වාහනේ දාන්න කලින් අර හුඩ් රැක් එකට ඉස්සරින් දවසෙ රෑ තිස්සේ පටවපු බඩු ටික ඔක්කොම ආපහු බිමට බාන්න වුනා නෙව. විලිලජ්ජාවෙ සන්තෝසෙ බෑ කියන්නේ අර යන එන වාහන බලන් ඉද්දි අපේ දරමිටිද, පොල් ගෙඩි ටිකද, හට්ටි මුට්ටි, වලං පිඟන්, කෝප්පද ඇතුලු සියල්ලම බාගෙන ආපහු දාගත්ත වාහනේ ඇතුලට. ඇයි හත්ඉලව්වේ හයිවේ එකේ හුලඟට ගහගෙන යන්න ඉඩ තියෙන ඒවා අඩමානෙට බැඳගෙන යන්න දෙන්නෙ නෑ නේද කියලා මතක් වුනේ පොලිස් රාලහාමි කීවට පස්සේ. කොහොමින් හරි අම්බලන්ගොඩට ගිහින් සුනාමියෙන් විපතට පත්වුන තැන් බලන අතරෙම සේන්දු වුනා සීනිගම දේවාලයට. 

                                                                                   සීනිගම දේවාලය...

                එතන නම් කියන්න තරම් දෙයක් නෑ. පොල් ගෙඩි නලලෙ තියන් තමන්ට වින කරපු එකා හැඳි ගෑවෙන්න කියලද කොහෙද ගහපු පොල් වල කෑලි වලින් පොල් ටැංකිය පිරිල තිබුනා. පොල් ගහන කෙනෙක්ගෙ ෆොටෝ එකකුත් මං හොරෙන්ම ගත්තේ මටත් පොල් ගෙඩියක් ගහයිද කියන බයෙන්. මේ තියෙන්නේ් ඒක.


     සීනිගම ප්‍රධාන දේවාලය මුහුද මැද දූපතක පිහිටා තියෙන බවත් මේ දේවාලයේ පරිවාරක දේවාලය තමයි මේ අපි ගය තැන කියලත් දැනගත්තේ එතනදි අපේ වැඩිහිටියන් අතර ඇති වුන කතාබහකින්. ඒ වගේම සීනිගමට අරක්‌ගෙන සිටින දෙවියන් වැරැදි කරපු උදවියට දඬුවම් දීමට හැකි සහ යහපත් අයට සෙතක් සලසන දෙවි කෙනෙක්‌. ගම්මිරිස්‌ ඇඹරීමෙන් පලි ගහලා වැරදි කරපු අයට දඬුවම් දෙන්න මෙතනදි පුලුවන්ලු. හැබැයි ලංකාවේ මිනිස්සු කරන වැරදි වල හැටියට නම් ලංකාවේ ඔක්කොම පොල් ගෙනල්ල මෙතන ගැහුවත් පිරිමහන්න බැරිවෙයි කියලා මට නිකමට හිතුනෙ අපේ වැඩිහිටියන්ගෙ කතා ඇහිලා. මේ තියෙන්නේ දේවාලය කිට්ටුවම මුහුද පැත්තට ගියාම ගත්ත දසුන් ටිකක්.


                                                   ඈතින් පේන්නේ ප්‍රධාන දේවාලය....


                   අම්බලන්ගොඩ ඉඳන් සීනිගම දක්‌වා  වෙරළ තීරය ඉතාමත් ලස්සනයි. ඒ යන අතරෙදි පැරෑලිය සුනාමි ස්‌මාරකය වගේම සුනාමි ස්‌මාරක බුදු පිළිම වහන්සේ අපට මතක් කරල දෙන්නෙ සුනාමි උවදුර ගැන ඒ අමිහිරි මතකය...
                       ඉන් පස්සේ අපේ බලාපොරොත්තුව උනේ අම්බලන්ගොඩ, තෙල්වත්ත, තොටගමුව, හික්‌කඩුව, දොඩන්දූව, ගාල්ල නගරය පසුකර කොග්ගල, වැලිගම ඔස්‌සේ මාතර පෙදෙසට එන්න රාත්‍රිය වෙද්දි. ඒ වගේම ඒ අතරේ බලන්න තියෙන දේවල් බලන්නත්. ගාල්ලේ බූස්ස පැත්තේ අපේ ඥාතියෙක් ඉන්නව කියපු හින්දා දවල් කෑමට අපි ගියේ එහෙට. අරන් ගිය කැවිලි ජාති වලින් ටික ටික එහෙටත් දුන්නා. නැත්නම් සාගතකාරයො වගේ හරි නෑනෙ කන්න විතරක් එහෙ යන එක. දවල් කෑම එහෙන් කෑවට මම නම් ජීවිතේට ඒ නෑදෑ ගෙදර ඇවිත් නෑ. මගෙ හිතට දැනුනේ අපේ අවශ්‍යතාවය ඉටු කරගන්න විතරක් නෑදෑ ගෙවල් මතක් වුනා වගේ හැඟීමක්. අහල තිබුනට මම හරියට දැනං උන්නෙත් නෑ නෑදෑකම මොකක්ද කියලවත්. ඒ වුනාට ඒ ගොල්ලන්ට නම් ඒකෙ ගානක් තිබුනෙම නෑ. ආදරයෙන් පිලිගත්තා අපිව. අවුලකට තිබ්බේ එහෙ හිටපු දඩෝරියා කොයි වෙලෙත් ගිලින්න වගේ අපි දිහා බලාගෙන හිටපු එක විතරයි. මොනව උනත් ඒ අයට පින් සිද්ධ වෙන්න සුපිරියට කෑම ටික උයලා තිබ්බා. මොකද අපි එන ගමන් එහෙට කෝල් කරලයි ආවේ අපි එනවා කියලා. මුහුද කිට්ටුව තමයි ඒ ගෙදරත් තිබුනෙ. අතේ නිතරම කැමරාව තිබ්බ හින්දා නිතරම ෆොටෝ නම් ගත්තා යන යන තැන. මේ තියෙන්නේ ඒවයින් දෙක තුනක්. 





මේ ඉන්නේ මං. සෙරෙප්පු දෙකයි, ඩෙනිමයි, ටී ෂර්ට් එකයි තමයි ට්‍රිප් වලට කියාපු ඇඳුම මට නම්...

                    තව ඔයිට වඩා ගත්ත ෆොටෝ නම්. ඊලඟට ගියේ ගාලු කොටු පවුර බලන්න. දැනට නම් ඇති වගේ පෝස්ටුව දිගයි. තව කොටසක් ලියනව නම් දැන් ලියපු මේ කොටස අංක 1 කියලා දාන්න වෙනවා. ගිය තැන් වල හැටියට ඊලඟ එකෙන් ඉවරකරගත්තොත් ඇති. ඇත්තටම ට්‍රිප් එක ගැන ලියන්න හිතන් ඉඳපු මේ සටහන දිග්ගස්සන්න නම් අදහසක් තිබුනෙ නෑ. කරන්න දෙයක් නෑ ඉතින්. දිග වැඩි වුනා....කියවන ඇත්තෝ කියවත්වා කියලා අද සටහනට සමුදෙනවා. ජයෙන් ජය....



9 comments:

  1. මාත් කැමතිම සංචාරයේ යෙදෙන්න සටහන මරු ඉතිරියත් ලියන්න ජය..!!

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් අල්ලලා කොහෙ හරි යන්න තියෙනව නම් ඇත්තටම හිතටත් ලොකු සුවයක් මේ කලබල වලින් මිදෙන්න පුලුවන් වීමත්...

      Delete
  2. හුග දවසකින් ලක්දසුන් පෝරම් එක බැලුවේ නෑ කියල මතක් උනා.. මොන ට්‍රිප ගියත් යන්න එපා බං දකුණු පළාතට නං.. ඔක්කෝම ඉන්නේ හුනියං කාරයෝ.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ලක් දසුන් ගේ ෆෝරමෙන් තමයි චාට් එක ගැන අයිඩියා එක ආවේ. සීනිගම ඇරෙන්න දකුණෙ හැම තැනමත් එහෙම ද?

      Delete
  3. Digatama liyapan macho

    ReplyDelete
  4. අර වැල්ල හෙනම අපිරිසිදුයිනෙ!

    සීනිගම ගිහින් මිරිස් අඹරන්න ඕන මහ දේවාලෙ. විස්වාස කරහන්, සුනාමියට ඒ දේවාලෙ වහලෙ උළු කැටයක්වත් ගැලවුනේ නෑ. හාස්කම් නිසා නෙමෙයි, සුනාමි රළ පෙරලෙන්නෙ ගැඹුර අඩු උනමනෙ. එකයි මගෙ අදහස. මිනිස්සු කියන්නෙ හාස්කම් කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් හිතන්නේ එහෙම. හාස්කම් නෙවෙයි ඒව නම්. විද්‍යාත්මකව බැලුවම උඹේ කියමන ඇත්ත...

      Delete
  5. මම බ්ලොග් කෙරුවාවට ආව මුල්ම කාලෙ ලිව්වා සංචාරක සටහන් 4 ක්...මම ගිය දීර්ඝ චාරිකාවක විස්තර දාලා...ඒකෙ එක තැනකදි ලිව්වා අධිවේගයේ ගමන් කරනවා නම් උඩ බඩු පටවාගෙන යන්න දෙන්නේ නැති බවත්...අපි සාටර් ජීවීන් පිරිසක් වෙලා බඩු ටික නැවත රථය තුල අහුරන්න වෙච්ච බවත්...අන්න ඒ ලිපිය බොලාගෙ නෙත ගැටුනා නම් මෙදා සාටර් වෙන්නෙ නෑ ගොයියො...

    මොනවා උනත් මෙවැනි චාරිකාවකදි තමන් මුහුණ දෙන අභියෝග වගේම ඒවා විසදාගත්ත ආකාරයත් ලියන එක වටිනවා තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් නිසා....ඉතිරියත් කියවමුකො එහෙනං....

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම්. මාරාන්තික දුෂ්කරතාවයකට තමයි අපිත් මුහුණ පෑවේ...

      Delete