Wednesday, September 24, 2014

කැලණියෙන් පටන්ගෙන හක්ගලට (දෙවන කොටස)

             

           නවත්වපු තැනින් පටන් ගන්නවා චාරිකා සටහනේ දෙවෙනි එක. පලවෙනි එකට මෙතනින් යන්නත් පුලුවන්. පලවෙනි දවසේ අර නෑදෑ ගෙදරින් කෑම කාලා පිටත් වුනේ කෙලින්ම ගාල්ලට. ගාලු කොටු පවුර කියනුනේ ලංකාව යටත්කර ගැනීම සඳහා පැමිණි පෘතුගීසින් විසින් ඔවුන්ගේ සුබසිද්ධිය උදෙසා ඉදිකර පසුව  ලන්දේසින් විසින් නවීකරණය කල අපේරටේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත උරුමයක්. ගාලු කොටුව අවුරුදු 400කට වඩා පරණයි කියල කියනවා. පස් බැමි වගේම මැටි භාවිතා කරලා මුලින්ම තැනූ බැම්ම කළු ගලින් ආවරණය කිරීම වගේම මෙහි ඇතුලත තියෙන ආරෝග්‍යශාලාව, පල්ලිය, ගණ්ඨාර කුළුණ වගේ දේවලුත් නිර්මාණය වෙන්නේ එක්දහස් හයසීය ගණන්වලයි. 


            ඒ වගේම ගාලු කොටුවේ පිහිටලා තියෙන ප්‍රදීපාගාරය 1939 දී බ්‍රිතාන්‍යයන් විසින් නැවත අලුත් වැඩියා කිරීමෙන් පසුයි දැන් තියෙන උස වෙන මීටර් 26ක උසට ගොඩනංවලා තියෙන්නේ. මේ ඓතිහාසික ස්ථානය තුල මේ වනවිට නොයෙකුත් නව ඉදිකිරීම් සිදුකරමින් අලුත් මුහුණුවරක් දීලා තියෙනවා ගාලු කොටුවට. ගාලු නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ අපි යනවිටත් ඉපැරණි ලන්දේසි රෝහල තුල සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයක් ලෙසට නවීකරණ කටයුතු සිදු කෙරෙමින් තිබුනා. මේ හැමදෙයකින්මත් පස්සේ මේ ස්ථානයේ පෞරාණික වටිනාකම දිගටම රැඳිලා තිබුණොත් හොඳයි. අපි ඉතින් කොටුවේ වැඩිය ඇවිදින්න ගියේ නෑ. මොකද පොඩි වැස්සක් කඩාහැලෙන පාටක් තිබුන නිසා ඉක්මනටම වාහනයට ගොඩ වෙලා මාතර පැත්තට එන්න ගත්තා මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බලන්න හිතාගෙන.






               ඒ යන අතරමගදී කොග්ගල පාර අයිනෙ ප්ලේන් එකක් නවත්තලා ලස්සන තැනක පිහිටලා තියෙන  Catalina Grill Restaurant එක ගාව නැවැත්තුවේ තේ බොන්න. වෙලාව හවස තුන හමාරට විතර. එයාෆෝස් එකෙන් කරන රෙස්ටොරන්ට් එකක්.  අපි යනකොටත් වාහන කිහිපයක් නවත්වලා තිබුනා. බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා වටපිටාව. අර පැත්තකින් නවත්වලා තියෙන air plane එකට කැමති කෙනෙක්ට නැගලා ඇතුලත ඇවිදලා බලනව නම් රුපියල් සීයක් අය කරනවා.    Catalina Grill එකපිහිටලා තියෙන භූමියේ මැද හරියට වෙන්න තියෙනවා ලස්සන වතුර මලක්. විවිධ හැඩයට හදපු කිහිපයක් තියෙනවා. අපිට යන්න හදලා තියෙන foot path එකේ යන එක තමයි හරිම දේ අර තණකොල මල් පාත්ති දිගේ යන්නෙ නැතුව. සහ අර වතුර මලවල් ගාවට ගිහින් අතපය හෝදන්න වගේම පොඩි ලමයි වතුරත් එක්ක සෙල්ලම් කරන්නයි හදනවා නම් ඒක එහෙම කරන්න එපා කියලා එතන සේවක පිරිස නොකීවත් අපි දැනගන්න ඕන ඒ විදිහට කරලා ලස්සන තැනක් අවලස්සන නොකරන්න තරම් විනීත මිනිස්සු වෙන්න. 
          ඉන් පස්සේ කෙලින්ම ආවේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බලන්න. පුංචි සන්ධියේ අපි විඳපු ගැමි මතක ආයෙත් සිහිනංවන තැනක් වගේම පොත් පත් වලින් අපි කියවපු ඉතිහාස චරිතයන්, එදා ඒ සමාජ ස්ථරය තුලදි කුමන ආකාරයක් ගත්තේද  යන්නත් හැබෑවටම පසක් කරන ස්ථානයක් විදිහට මෙය හඳුන්වන්න පුලුවන්. අපේ රටේ අවසන් රජ පරම්පරාව භාවිත කලපු ඇඳුම් ආයිත්තම් වගේම පෘතුගීසින්, ලන්දේසීන් ඒ කාලයේ ඇඳපු ඇඳුම් ආභරණ එහෙමත් තාමත් ඒ ස්ථානයේ සුරැකිව තියෙනවා. 




                 අවාසනාවකට වගේ ඒ තැන් වල පින්තූර ගැනීම, වීඩියෝ කිරීම තහනම් වගේම ඇතුලත ආරක්ෂාවට කැමරා පද්ධතියකුත් ස්ථාපිත කරලා තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහතා තුල මේ ජන කෞතුකාගාරය ආරම්භ කිරීම පිලිබඳ අදහසක් ඇති වීම හේතුවෙන් ඔහුගේ පසු පරම්පරාව විසින් එතුමාගේ ඒ අදහස මුදුන් පත් කරමින් මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය ආරම්භ කොට තිබෙනවා. ඔබ එන්නේ ගාල්ලේ සිට නම් උණව‍ටුන, තල්පේ, හබරාදුව පහු කරනවත් එක්කම අහු වෙන්නේ කොග්ගල නගරය. කොග්ගල එයාෆෝස් කෑම්ප් එක කිට්ටුවෙන් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. වැඩිහිටියන්ට ටිකට් එක රුපියල් තිහක් විතරයි. අපි යද්දි නම් වැස්ස වහිනවා. මේ ජන කෞතුකාගාරය තුල සිංහල ජන සංස්කෘතියේ උරුමය විදහා පාන කෞතුක භාණ්ඩ රාශියක් දක්නට ලැබෙනවා.
                 පැරණි ගැමි ජීවන රටාවට අදාල කෞතුක වස්තූන් විදිහට ගොවි උපකරණ වල සිට ධීවරයින් භාවිතා කරල උපකරණ දක්වාම ඒ ඒ වෘත්තීන් සඳහා යොදාගත් උපකරණ මෙහි දැකිය හැකියි. මෙහි ඇතුලත ඡායාරූප ගැනීමට නම් අවසරයක් නෑ. කෞතුකාගාරයේ කොටස් කිහිපයක් තියෙනවා. එක් කොටසක ඉහත දැක්වූ උපකරණත්, තවත් කොටසක පැරැන්නන් විසින් භාවිතා කරන ලද පැරණි ඇඳුම් ආයිත්තම්ද, එවකට ප්‍රචලිතව පැවති රූකඩ කලාව සම්බන්ධ වූ ආකෘති කිහිපයක්ද, තවත් කොටසක පැරණි ගැමි සමාජය විසින් එදිනෙදා භාවිතයට ගන්නා ලද උපකරණද හා එලිමහන් රථ ගාලක් ලෙසින් සකස් කරන ලද ස්ථානයක ඉපැරණි කරත්ත හා ඔරු රාශියක් ද තැන්පත් කර තිබෙනවා.







                                                                             ඉපැරණි කරත්ත වර්ග හා ඔරු

                අවසානයෙන්ම පිහිටන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවස. අක්කර අටකට ආසන්න භූමියක පිහිටා ඇති මෙම නිවසෙහි වැඩි ප්‍රමාණයක් තමයි ජන කෞතුකාගාරයක් ලෙසට යොදාගෙන තිබෙන්නේ. මෙතුමාණන් ඉපදිලා තියෙන්නේ 1890 දී කොග්ගල ඉඳන් කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටලා තියෙන මලලගම කියන ගමේ. මහාචාර්ය ජෝශප් නීඩ්හැම් විසින් මාර්ටින් වික්‍රමසිංහයන් හඳුන්වලා තියෙන්නේ “කොග්ගල මහා ප්‍රාඥයා” යන ගෞරවණීය සන්නාමයෙන්.  ගුණසේන විතානගේ මහතාගේ කොග්ගල ප්‍රාඥයා කියන පොතේ මෙතුමාගේ උපන් ගමෙහි විස්තර කදිමට කියාදෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් උපන්නේ කොග්ගල මලලගම පිහිටි “ඔෆිසර ගෙදර” නමිනු ගැමියන් විසින් හඳුන්වනු ලැබූ ඔහුගේ මුල් ගෙදර. මෙතුමාගේ පියා ගමේ හිටි ඔෆිසර මහත්මයෙක් නිසායි මේ නම ගෙදරට භාවිතා වෙලා තියෙන්නේ. ඔෆිසර මහත්මයාගේ පුත් රුවන ගම්මු විසින් හඳුන්වනු ලැබුවේ “ඔෆිසර අප්පු” යනුවෙන්.


            ඔෆිසර ගෙදර නමින් හඳුක්වනු ලැබූ මුල් ගෙදර 1962 දී ඉංග්‍රීසි පාලනාධිකාරයෙන් නැවත භාර ගනිද්දී තිබූ අයුරු
                                                                                (ජායාරූපය අන්තර්ජාලයෙනි)


                                                                     වර්තමානයේ එම නිවස පවතින අයුරු

              1942 දෙවැනි ලෝක යුද්ධය පැවැති වකවානුවේදී කොග්ගල ප්‍රදේශය වටකොට හමුදාකඳවුරක් ස්ථාපිත වීමෙන් මෙගම පැවති නිවාස සියල්ලම සුදු නිලධාරින් යටතට ගෙන කඩා බිඳ දැමුණු බව ඉතිහාසය සඳහන් කරනවා. නමුත් ඒ සියල්ලම විනාශ වූ පසුත් වික්‍රමසිංහයන් ජීවත් වු නිවස පමණක් අදටත් ජීවමානව ඇත්තේ එම නිවසේ තිබුණු පෞරාණික බව හේතුවෙන් එය සුදු නිලධාරීන්ගේ නිවාසයක් බවට පත් වීම කරණ කොටගෙනයි. මේ අවධියේදී මෙතුමන් තමන්ගේ නිවසට යාමට ගම් දොරට පැමිණි විට එය භාරව සිටි නිලධාරියා පවසා ඇත්තේ ලොකු මහත්තයාට කියලා අවසරයක් ගන්නෙ  නැතුව ගමට යන්න දෙන්න බැහැ යනුවෙන්. වික්‍රමසිංහයන් එවිට

 “මගේ ගෙදරට යන්න මටත් පර්මිට් ඕනද“ යනුවෙන් පවසා නැවතත් අපසු පැමිණ තිබෙනවා.
            කෙසේ වෙතත් පැවති යුධසමය නිමාවෙන් පසු මෙම නිවස නැවතත් භාරගෙන වික්‍රමසිංහයන්ගේ 70 වන ජන්ම දිනයේදී නැවත එම අයිතිය එතුමාටම පැවරීමට හැකියාව ලැබි තිබෙන බව එම නිවස ඇතුලත පවතින පින්තූර සාක්ෂි දරනවා.  මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වසර දෙසීයකටත් වඩා පැරණි මේ නිවස හා ඉඩම  ජාතික උරුමයන් වශයෙන් පවත්වාගෙන යාමට උරදී කටයුතු කිරීම සැබැවින්ම ප්‍රශංසනීය මෙහෙවරක්. 

             මාර්ටින් වික්‍රමසිංහ මහතාණන් විසින් භාවිතයට ගැනුණු දැනට ඉතිරිව ඇති සියලුම බඩු භාහිරාදිය මෙම නිවසේ තැන්පත් කර තිබෙනවා. එතුමා විසින් භාවිතා කරන ලද පෑන්, පොත්පත්, ලියමින් සිටි කටු සටහන්, උත්තල කාච, ඔරලෝසුව ඇතුලු දෑ ආරක්ෂා සහිතව බලා කියා ගැනීමට මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය කටයුතු කර තිබෙනවා.



            “පරෙවි කූඩුවක් වැනි ඉහළ තට්ටුවකින්ද ගණන් පොත් හා රූල්ද පෑන් පැන්සල්ද තැබීම පිණිස තුනට බෙදන ලද කාමර තුනක්ද ඇති තට්ටුවකින්ද යුතු පෙට්ටියක් ඒ මේසය උඩ විය. මුහන්දිරම් පෙට්ටිය ඇර පියන උස්සා එහි මුදුනෙහි හෙවූ විගස, දල්වන ලද වැටි දෙකක් සහිත හිටවන පහනක් සාදාගේ දෑතින් මේසය උඩට පැමිණියේය.“  ගම්පෙරලිය දෙවන පරිච්ජේදයේ කොටසකි ඒ. එහි කියවෙන එම මේසයද මෙම නිවසේ තාමත් තිබෙන්නේ මෙතුමාණන්ගේ දුක සැප බෙදාගෙන අකුරු පෙලහරට සමු දීමෙන් පසු , දැන් විඩා හරින සුවච කීකරු ගෝලයෙක් මෙනි. මෙම මේසය තිබෙන ස්ථානයේ පසෙකින් තවමත් වහලය වෙත නැගි සොල්දරය පරිසරයේ වෙනස්වීම් දරාගෙන නිහඬව සිටින යෝධයෙක් මෙනි. 


                  නිවසේ වම් අත පැත්තේ ඇති නිදන කාමරය තුල  මෙතුමා භාවිතා කල ඇඳ මෙන්ම ඇඳුම් පැලඳුම් පාවහන් තොප්පි හා ටයි පටිද පැරණි කබඩ් එකක් තුල විඩා හරිමින් සිටී. කාමරය මැද කුඩා ටීපෝවක් මත ඇති පෙරලන ලද පොත හා කණ්ණාඩි යුවල මතුපිට ඇති සිහින් දුහුවිල්ල කියා පාන්නේ දින කිහිපයකට පෙර පෙරලන ලද පොත වසන්නට අමතකව වික්‍රමසිංහයන් හදිසි ගමනක් ගොස් ඇති බවක් ය. නිවසේ පසුපසට වන්නට මෙතුමන් විසින් රචනා කරන ලද සියලු පොත් වල පැරණිම වෙලුම් නැරඹිය හැකිය. එමෙන්ම හදිසියේ ලියන ලද කටු සටහන්, ලිපි ආදියද ඔබගේ නෙතු ගැටෙනු ඇති. ඊට අමතරව දිවියේ බොහෝ අවස්ථා නියෝජනය කරන ජායාරූප පෙලකි. සම්මාන පෙලකි.  




          නිවස පසුකොට මඳක් ඉදිරියට වෙන්නට සෙක්කුව නමින් පැරැන්නන් විසින් හඳුන්වනු ලැබූ තෙල් හිඳින උපකරණය වෙයි. ඒ ගැන සටහනක් අවශය නොවන්නේ සෙක්කුවේ භාවිතය පිළිබඳව පුවරුවක් ඒ සමගම වන නිසයි. සෙක්කුව දැක්ක ගමන් මගේ මතකයට ආවේ “කරුවල ගෙදර“ නමින් මාර්ටින් වික්‍රමසිංහයන් විසින්ම රචිත නවකතාවේ එන තිනන් සෙක්කුව පිහිට කොටගෙන තමන්ගේ දියුණුවට අඩිතාලම දමාගත් අයුරුයි.


මාර්ටින් වික්‍රමසිංහ සමාධිය

                නිවසින් පිටවත්ම වම් අත පැත්තේ ඇති මාර්ටින් වික්‍රමසිංහ සමාධියේ මෙතුමන්ගේ භෂ්මාවශේෂ මෙන්ම රචනා කරන ලද පොත්වල නම් සටහන් තඹ ඉරුවක්ද තැන්පත් කර ඇති බැව් දැන ගතිමි. මෙතනදි හරියටම හිතට දැනේනේ මෙතුමන් ජීවමානව මෙහි සිටිනා බවක්. වික්‍රමසිංහයන්ගේ පොතපත ආසාවෙන් කියවූ කෙනෙකු ට, එතුමන් විසින් තම නිර්මාණ ඔස්සේ විහිදුවාලූ ගැමි සුවඳ වින්දනය කල කෙනෙකු ට ඒ තරම් සංවේදී ස්ථානයක් මෙය.                      ආපසු හැරී නැවත වරක් නිවෙස වෙත බැලූ විට කොපමණ සුන්දර ගැමි ඉතිහාසයක්, ගැමි සිරියාවක් , වික්‍රමසිංහයන්ගේ දිවියේ දුක්බර හා රසබර අවස්ථාවන් කොපමණ ප්‍රමාණයක් මේ නිවස විසින් නිහඬව හිරකරගෙන ඇත්ද? ඉස්සර කොපමණ නම් ගැමියන් ප්‍රමාණයක් තම සරම ඇඳ උඩු කය නිරුවත්ව මේ නිවසට විවිධ කරුණු උදෙසා උදව් බලාපොරොත්තුවෙන් පැමිණෙන්නට ඇත්ද? නිවසේ එලිමහන් සාලය මත හිඳ මාර්ටින් වික්‍රමසිංහයන් ඔවුන් සමඟ කොපමණ නම් සංවාද ගොඩනගන්නට ඇත්ද. වික්‍රමසිංහයන් මේ නිවස තුල හිඳිමින් කොපමණ නම් නිර්මාණ වෙනුවෙන් තම පෑන පැන්සල මෙහෙයවන්නට ඇත්ද? ඇත්තටම කොච්චර නම් සොඳුරු  වටපිටාවක් ඒ අවධියේ මේ එලිමහනේ තිබෙන්නට ඇත්ද? ඒ අවධියේ හිටි කොලුවන්ගේ ක්‍රීඩා වලින් මේ මිදුල, පරිසරය, ගම්මානය, කොග්ගල කොච්චර නම් පිරෙන්නට ඇතිද.  ඒ අවධියට ආයෙත් යන්නට ඇත්නම් එකම එක පුංචි නිමේෂයකට හරි.....
            එතනින් එන්නට කලින් එහෙම හිතුනේ,  මා පෞද්ගලිකවම බෙහෙවින් අගය කරන විශිෂ්ට ගණයේ ලේඛකයෙකු වන මාර්ටින් වික්‍රමසිංහයන් ගේ නිර්මාණ විසින්ම මසිතේ මවන ලද පැරණි ගැමි සමාජය සම්බන්ධ කරගත් හැඟීම් සමූහයක් මේ මොහොතේ මසිතේ ඇතිවුන නිසා වෙන්න ඇති...

ප.ලි - 
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය හා විසින් කියා සිටින පරිදි මෙතුමන් ජීවත්ව සිටින කාලයේ කිසියම් පාඨකයෙකු එවූ ලිපියකට එතුමා විසින් ලියන ලද පිලිතුරු ලිපි හෝ අනාගත පරම්පරාවට දැක ගැනීම පිණිස වටිනා වූ සටහන් හෝ සිහිවටන කිසිවක් ඇත්නම්, එය අනාගතය වෙනුවෙන් රැක ගැනීම උදෙසා මෙම කෞතුකාගාරය වෙත භාරදෙන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටී.


12 comments:

  1. සහ්. එළ විස්තරයක් නෙව.. රතියෝ.. තැන්කුයි. අර හමුදාවේ ලොක්කගේ නම මොකක්ද බං

    ReplyDelete
  2. ඉතාම හොඳ විස්තරයක්. මාත් පොඩිකාලෙ ගියාට පස්සෙ ඕකට යන්න ලැබිල නෑ. මේ විස්තරේ කියෙවුවට පස්සෙ ආපහු යන්න ආසාවක් ඇතිඋනා.

    ReplyDelete
    Replies
    1. යනවනං කලින් කියහං මං එතැන වහල දාන්න..

      Delete
    2. ඇයි හිතුවද බොලා කන්නෙලියෙ ගිහිල්ල ජොකා හෝටලේ මේසෙ උඩ දාල ආව වගේ අපිත් වැඩ කරයි කියල. yela' yela''

      Delete
    3. අැත්තටම යන්න වටින තැනක් ජීවිතේ එක වතාවක් හරි...

      Delete
  3. වටින විස්තරයක් නෙ. ස්තුතියි බෙදාහදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කියල පිලිගන්නවා සහෝ...

      Delete
  4. ප්ලේන් එක උඩ නොගියත් තවම ආදායම එනවා නේද බං...මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට මම ගිහිල්ලා නෑ...ඒ පැත්තෙ යන්න ආශාවක් ඇතිවුනා මේ සටහන කියෙව්වාම...

    ReplyDelete
    Replies
    1. උබත් විමල් මාත්තියා සිගිරි ගියේ නැහැ කිව්ව වගේ කතාවක් නේ කියන්නෙ..

      Delete
    2. ඒක නම් ඇත්ත. බිම තිබ්බත් ප්ලේන් එකෙන් ගාන එනවා නියමෙට. රෙස්ටොරන්ට් එක promote කරන්න නියම භාණ්ඩේ...අනිවා යන්න ඕන සහෝ පුංචි එවුන් එක්කම. මොකද උන්ට තමයි ගොඩක්ම වැදගත්...

      Delete
    3. බොරු නෙමෙයි සෑමො.....උඹ විශ්වාස කරයිද මන්දා...ග්‍රහලෝකාගාරය / ජාතික කෞතුකාගාරය...මම වේවා බලන්න ගිහිල්ලත් නෑ තවම....විමලා හොදයි මම හිතන්නෙ මට වඩා...

      Delete
  5. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete